තායිලන්ත පාපන්දු කණ්ඩායමක දරුවන් 12දෙනා සහ පුහුණුකරු සිරවී සිටින විශාල උමඟ තුළින් ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් අධික වර්ෂාවත් සමග කඩිනම් කර තිබේ.
දින 09ක කාලයක් මෙම දරුවන් උමඟ තුළ අතරමංව සිටියදී විශේෂ කිමිදුම්කරුවන් මාර්ගයෙන් උමගේ කිලෝමීටර් 04ක පමණ දුරින් වූ ගොඩැල්ලක් මත සිටි මෙම පිරිස සොයාගනු ලැබීය.
නමුත්, තායිලන්තයට මේ දිනවල පවතින අධික මෝසම් වර්ෂාවත් සමග ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බව බලධාරීන් සඳහන් කළේ දරුවන්ට කිමිඳුම් අභ්‍යාස සිදුකළ යුතු බව පවසමිනි.
කෙසේ වෙතත්, මේ වනවිට එම අදහසක ඔවුන්ට යම් ලෙසකින් පසෙක දැමීමට සිදුව ඇත්තේ දරුවන් පිරිස හා ඔවුන්ගේ පුහුණුකරු රැඳී සිටින පස් ගොඩැල්ලද වැසී යන ලෙස වර්ෂා ජලයෙන් එය පිරෙනු ඇතැයි යන අනියත බිය හේතුවෙනි.
එම දරුවන්ට හා පුහුණුකරුට අවශ්‍ය ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට කිමිදුම් විශේෂඥයන් මේ වනවිට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමද නිරන්තරයෙන් සිදුවෙමින් පවතී.
එමෙන්ම, උමඟ තුළ කේබල් මාර්ගයෙන් පණිවුඩ හුවමාරුව සඳහා අවස්ථාව ලබාදීමටද ඔවුන් කටයුතු කරමින් සිටියි.
වයස අවුරුදු 11 සිට 16 දක්වා වයස් කාණ්ඩවල මෙම දරුවන් පිරිස හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරවී සිටින විශාල ගුහාව චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයයි.