තායිලන්තයේ විශාල ගුහාවක් නැරඹීමට ගොස් අතුරුදන්ව සිට දින 09කට පසුව සොයා ගැනුණු පාපන්දු කණ්ඩායමේ දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු වෙත ආහාර හා අත්‍යවශ්‍ය සියලු දෑ මේ වනවිට ලබාදී තිබේ.
එමෙන්ම, මෙම දරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය පිරිහී නොතිබුණු බවද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
මේ අතර, දරුවන් පිරිස දැක්වෙන නවතම වීඩියෝවක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණු අතර, මෙම දරුවන් එකිනෙකා තමන්ව හඳුන්වාදෙමින්, තායිලන්ත සම්ප්‍රදායට අනුව වැඳ ආචාර කරමින් සිනහමුසුව සිටි ආකාරය එහි දැක්වෙයි.
පසුගිය සඳුදා දිනයේදී මෙම දරුවන් පිරිස මෙම දැවැන්ත ගුහාව තුළ අතරමංව සිටියදී සොයා ගැනුණු අතර, මෝසම් වර්ෂාව සමග ගුහාව තුළ ජල මට්ටම් ඉහළ යෑම නිසා ඉන් පිටතට පැමිණීමට නොහැකිව ඔවුන් එහි සිර වී තිබුණි.
එහිදී, ඔවුන් සොයාගැනීමේ මෙහෙයුමට විදෙස් විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු පිරිස් දායක වූ අතර, දරුවන්ගේ දෙමවුපියන් පිටතට වී බෞද්ධාගමික වතාවත්වල නිරත වෙමින් සිය දරුවන්ට කරදරයක් නොවේවායි ප්‍රාර්ථනා කර ඇත.
කෙසේ වෙතත්, මෙම දරුවන් යළි පිටතට ගැනීම විශාල අභියෝගයක් වී ඇත්තේ මෙම ජල මට්ටම් අඩුවන තුරු බලා සිටීමට හෝ දරුවන්ට කිමිදීමට ඉගැන්වීමට මාස කිහිපයක් ගතවිය හැකි බැවිනි.
නමුත්, මෙහි පළමු වෑයම අසාර්ථක විය හැකි වන්නේ මෝසම් වැසි ආරම්භ වූවා පමණක් නිසා ඉදිරියේදී මෙහි ජල මට්ටම් තවත් වැඩිවිය හැකි නිසාය.
ඒ අනුව, මෙම දරුවන් මුදාගැනීමේ මෙහෙයුමට අවම වශයෙන් මාස 4ක පමණ කාලයක් ගතවිය හැකි බව විශේෂඥ මතය වී තිබේ.