තායි නගරයේ නාකොන් රට්චසිමා හි සිදුවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 20 දෙනෙකු ඝාතනය කළ සෙබළෙකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව තායිලන්ත පොලිසිය පවසයි.
ජක්‍රෆන්ත් තොම්මා නමැති මෙම සෝලදාදුවා හමුදා කඳවුරකින් ආයුධ සොරකම් කිරීමට පෙර සිය අණදෙන නිලධාරියාද ඝාතනය කර තිබුණි.
සැකකරු දිගින් දිගටම වීදිවලට සහ කෝරාත් නමින් හැඳින්වෙන නැකොන් රට්චසිමා හි සාප්පු මධ්‍යස්ථානයකට ඇතුළු වී විවෘත වෙඩි තැබීමක් සිදුකළ බව මාධ්‍ය වාර්තා පවසයි.
සමාජ මාධ්‍ය වෙත තොරතුරු පළ කළ තුවක්කුකරු ගොඩනැගිල්ල තුළ රැඳී සිටිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. කෙසේ වෙතත්, ඔහු කවර හේතුවක් නිසා මෙම ඝාතනය සිදුකළේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
"ඔහු මෙය කළේ ඇයිදැයි කියා අප දන්නේ නෑ. ඔහු වියරුවෙන් කටයුතු කර ඇති බව පෙනී යනවා" යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කොංචීප් තන්ත්‍රවානිත් රොයිටර් පුවත් සේවයට පැවසීය.
"තත්ත්වය අවසන් කිරීම ගැන පොලිසියට සහ හමුදාවට ස්තූතියි. වෙඩික්කරු වෙඩි තබා ඝාතනය කළා" ඊසානදිග තායි නගරයේ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ක්‍රියාමාර්ග පිළිබඳව සුබ පැතුම් එක් කරමින් මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චන්විරකුල් පවසා සිටියේය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 20 ක් වන අතර 42 දෙනෙකු තුවාල ලබා ඇති අතර මීට පෙර මියගිය සංඛ්‍යාව 21ක් ලෙස සටහන් විය.
"මේ වනවිට මියගිය අයගේ නිල සංඛ්‍යාව 20ක් සහ 42 ක් තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් 21 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටින අතර 21 දෙනෙක් නිවෙස්වලට ගොස් තිබෙනවා" යැයි නගරයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පළාත් කාර්යාලයේ ප්‍රධානී නරින්රත් ෆිචායාකාමින් පැවසීය.
කෙසේ වෙතත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද විශ්වාස කෙරෙයි.
එරට වේලාවෙන් අලුයම 03:00 ට ආරක්ෂක අංශ විසින් ගොඩනැගිල්ල වටලා තුවක්කුකරු පලවා හැරීමට කටයුතු කර තිබූ අතර, සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ ඒ අවස්ථාවේදී වෙඩි ප්‍රහාර රැසක් ඇසුණු බවයි.
කිහිප දෙනෙකු මධ්‍යස්ථානයෙන් පිටතට ගෙන ගිය නමුත් වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන සිටින බවට සැක පහළ විය.
අද (09දා) පෙරවරු 09:30 ට තුවක්කුකරු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සනාථ කළ නමුත් මෙහෙයුම අවසන් වූ ආකාරය පිළිබඳ වැඩි විස්තර මාධ්‍ය වෙත නිකුත් කර නොතිබුණි.