තායිලන්ත දරුවන්ගෙන් තවත් සිව්දෙනෙකු අද ගුහාවෙන් ගනී


තායිලන්තයේ විශාල ගුහාවක සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තවත් දරුවන් සිව් දෙනෙකු අද (09දා) දිනයේදී බේරාගැනීමට විශේෂඥ කිමිදුම් කණ්ඩායම් සමත්ව තිබේ.

ඒ අනුව, ඊයේ (08දා) දිනයේදී පිටතට ගැනුණු දරුවන් සිව්දෙනා සමග මේ වනවිට දරුවන් අට දෙනෙකු නිරුපද්‍රිතව පිටතට ගැනීමට නේවි සීල් භටයන්ගෙන් සමන්විත විශේෂඥ කිමිදුම්කරුවන් සමත්ව ඇති අතර, ඊයේ බේරාගැනුණු දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් යටතේ රෝහල්ගතව සිටින බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට තවත් දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පමණක් චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයෙන් පිටතට ගැනීමට නියමිත අතර, අද දිනට මෙහෙයුම් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ස්ථානයේ සිටි රොයිටර් වාර්තාකරු පවසා තිබුණේ ගුහා සංකීර්ණයේ සිට පුද්ගලයන් සිව්දෙනෙකු පිටතට රැගෙන යන ආකාරය නිරීක්ෂණය කළ බවත්, ඔවුන් ඒ ආසන්නයේ තිබූ ගිලන් රථවලට නංවා ගනු ලැබූ බවත්ය.

අද දිනයේදී බේරාගැනුණු දරුවන්ගෙන් ප්‍රථම දරුවා උදෑසන කාලයේදී ගුහාවෙන් පිටතට ගෙන තිබුණු අතර, සෙසු දරුවන් ඉන් අනතුරුව සවස් වනතුරුම කිමිදුම් මෙහෙයුම් හරහා ගුහාවෙන් පිටතට ගැනීම සිදුවූ බව වැඩිදුරටත් සඳහන් වෙයි.



Recommended Articles