සති දෙකකට අධික කාලයක් තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සිරවී සිටින දරුවන් බේරාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට ඒ අවට රැඳී සිටින අමතර පිරිස් ඉවත් කර ඇත.
මෙම විශාල ගුහා සංකීර්ණය තුළ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරවී සිටිති.
අමතර පිරිස් හා සිවිල් වැසියන් වෙනුවට අත්‍යවශ්‍ය කිමිඳුම් කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායමක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් මෙම කඩිනම් මෙහෙයුමට සූදානම් වෙයි.
පසුගිය ජූනි මස 23දා මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය නැරඹීමට ගිය අවස්ථාවේ හදිසියේ ඇති වූ වර්ෂාවත් සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීම නිසා එහි සිරවිය.
මෙම දරුවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යමින් සිටි එරට නාවික හමුදාවේ හිටපු කිමිදුම්කරුවෙකුද පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර, පවතින මෝසම් වැසි සමග ගුහා සංකීර්ණය තුළ තවදුරටත් ජලය වැඩිවීමේ සම්භාවිතාව ඉහළ යෑමෙන් මෙහෙයුම් කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.