තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ දරුවන් පිරිසට හා ඔවුන්ගේ පුහුණුකරුට අවශ්‍ය පහසුකම් සලසමින් සිටි එරට නාවික හමුදාවේ හිටපු කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සමාන් ගුනාන් ලෙස හඳුනාගෙන ඇති මෙම හිටපු නාවික හමුදා කිමිදුම්කරු චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සිරවී සිටි දරුවන්ට අවශ්‍ය ඔක්සිජන් ටැංකි රැගෙන යාමේ මෙහෙයුමකට සහභාගී වී සිටින අවස්ථාවේදී හදිසියේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
වයස අවුරුදු 11 සිට 16 දක්වා වයස් කාණ්ඩවල මෙම දරුවන් පිරිස හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු දැනට සති දෙකකට ආසන්න කාලයක සිට මෙම ගුහා සංකීර්ණය තුළ සිරවී සිටින්නේ අධික වර්ෂාවත් සමග එය ජලයෙන් පිරී යාම නිසාය.
ඔවුන් උමග තුළ සිරවී දින 9කින් පමණ පසුව බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් උමග තුළ කිලෝමීටර් 4ක් පමණ දුරදී මෙම දරු පිරිස නිරුපද්‍රිතව සොයා ගත්තත්, පවතින අධික වර්ෂාව හේතුවෙන් ඔවුන් පිටතට ගැනීම අපහසු වී තිබේ.
එතැන් පටන් මේ දක්වා ජාත්‍යන්තර හා තායිලන්ත කිමිදුම්කරුවන් මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සලසමින් සිටියත්, මේ වනවිට ඔවුන් රැඳී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවද කියැවෙයි.
ඒ අනුව වර්ෂා කාලය අවසන් වනතුරු දරු පිරිස එහිම රැඳවීමට කලින් තීරණය කෙරුණත්, පවතින තත්ත්වය මත කඩිනමින් ඔවුන් මුදාගැනීමට කටයුතු කිරීමට තායිලන්ත බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ ඔවුන් ඉතා සුළු කාලයක් පමණක් ඉතිරිව ඇති බව පවසමිනි.