තායිලන්ත ගුහාවෙන් මේ වනවිට පිටතට ගැනීමට සිටින පිරිස 5ට වඩා වැඩි බවත්, අද දිනයේදී ඔවුන් පිටතට ගැනීමේ මෙහෙයුම් ඇරඹී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
පෙරේදා (8දා) සහ ඊයේ (9දා) දිනයන් හිදී තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ සිරවූ දරුවන් 12 දෙනාගෙන් දරුවන් 8 දෙනෙකු හතර දෙනා බැගින් බේරාගැනීම සිදුවිය.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉතිරි දරුවන් 4දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හැරුණු විට ඔවුන්ට මූලික පිහිනුම් හා කිමිදුම් පුහුණුව ලබාදීම සඳහා ගුහාව තුළට පිවිස ඔවුන් සමග මේ වනවිට සිටින තායි නේවි සීල් භටයන් පිරිසද ගුහාවෙන් පිටතට පැමිණීමට නියමිතව ඇති බවයි.
ඒ අනුව, මෙම දරුවන් 4 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ආරක්ෂිතව පිටතට ගැනීමෙන් පසුව ගුහා සංකීර්ණයෙන් අවසන් වරට පිටතට පැමිණෙන පිරිස මෙම නේවි සීල් භටයන් පිරිස වනු ඇති බව කියැවෙයි.
එහිදී, මෙම විශේෂඥ හමුදා භටයන් පිරිසද දින ගණනාවක් අඳුරු ස්ථානයක රැඳී සිටි නිසා පිටතට පැමිණීමෙන් පසුව ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන්ද සැලකිලිමත් වීමට බලධාරීන් සූදානමින් සිටියි.
පසුගිය ජුනි 23 වැනිදා තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය නැරඹීමට පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු පැමිණියද හදිසියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීමෙන් ඔවුන් එහි කිලෝමීටර් 4ක් පමණ ඔබ්බෙහි ගොඩැල්ලක් මත සිරවුණි.
මෙම දරුවන් අතුරුදන් වූ දින සිට ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් දින 9කට පසුව දරුවන් සිටි ස්ථානයට ළඟා විය.
පසුව දරුවන් පිටතට ගැනීමේ අභියෝගය පැන නැගුණු අතර, වර්ෂා කාලය අවසන් වනතෙක් මාස කිහිපයක් බලා සිටීමට මුලින් තීරණය වුවත්, වර්ෂාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම නිසා පැවති අවදානම තේරුම්ගත් තායිලන්ත බලධාරීන් දරුවන් කඩිනමින් පිටතට ගැනීමේ මෙහෙයුමක් ඇරඹීය.
මෙම මෙහෙයුම සඳහා විදෙස් විශේෂඥයන්ගේ සහාය සහ තාක්ෂණික දැනුම තායිලන්ත රජයට ලැබුණු අතර, විදෙස් නායකයන් මෙන්ම ලෝකයම මෙම මෙහෙයුම දෙස වඩාත් අවධානයෙන් බලා සිටියහ.
විශේෂයෙන්ම, පසුගියදා මෙම මෙහෙයුම අතරතුර තායිලන්තයේ හිටපු නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අභාග්‍යසම්පන්න සිදුවීමක්ද වාර්තා වූ අතර, ඔහු මේ වනවිට තායිලන්තයේ වීරයෙකු බවට පත්ව සිටින බවද විදෙස් වාර්තා පවසයි.