තායි දරුවන් හා ගුහාවේ සිටි වෛද්‍ය හැරිස්ට සතුට සමග ආ දුක් ආරංචිය


වයිල්ඩ් බෝර්ස් තායි පාපන්දු කණ්ඩායමේ දරුවන් ගුහාව අභ්‍යන්තරයේ සිරවී සිටි අවස්ථාවේදී ඔවුන් සමග දින කිහිපයක් ගත කිරීමට ගිය ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයාට මෙහෙයුම අවසානයේ සතුට භුක්ති විඳීමට පෙර වේදනාබර ආරංචියක් කණ වැකී තිබුණි.

එහිදී, වෛද්‍ය හැරිස්ට මෙහෙයුම සාර්ථක කරගැනීමේ සතුට හා ඒ සැහැල්ලුව බුක්ති විඳීමට වැඩි වේලාවක් අවස්ථාව නොලැබුණේ, සිය පියා හදිසියේ වියෝවූ බවට ඔහුට ලැබුණු දුරකථන ඇමතුමකිනි. මෙම දැවැන්ත මෙහෙයුම අවසන් වී සුළු මොහොතකින් වෛද්‍ය හැරිස්ගේ පියා දෙනෙත් පියාගෙන තිබුණි.

තායිලන්ත පාපන්දු කණ්ඩායමක මෙම දරුවන් 12දා සහ ඔවුන්ගේ පුහුණුකරු පසුගිය ජූනි 23දා තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සිරවී සතියකට පමණ පසු සොයාගැනීමත් සමග ඇඩිලේඩ්හි පදිංචි වෛද්‍ය රිචඩ් හැරිස් ස්වෙච්ඡා කිමිදුම්කරුවෙකු ලෙස මෙහෙයුමට සම්බන්ධ විය.

එහිදී, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් ඔවුන් සමග දින තුනක කාලයක් ගුහා සංකීර්ණය තුළ ගත කිරීමට තරම් වෛද්‍ය හැරිස් සිය ජීවිතය පරදුවට තබා තිබුණි.

එහිදී, ඔහුගේ උපදෙස් පරිදි ගුහාවෙන් පිටතට ගැනෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සමින් දුර්වල සෞඛ්‍යය තත්ත්වයක පසුවූ දරුවන්ගේ සිට ක්‍රමිකව ඔවුන් පිටතට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබුණේ වඩාත් සාර්ථක නිමාව දැකීමක් සමගිනි.

වෛද්‍ය හැරිස් හෙවත් බොහොදෙනා හැරී යනුවෙන් ආමන්ත්‍රණය කරන ඔහු මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි කිමිදුම්කරුවන්ගෙන් අවසන් වරට ගුහාවෙන් පිටතට පැමිණි පිරිසේ අයෙකු බවද කියයි.

එමෙන්ම, වෛද්‍ය හැරිස් මෙම මෙහෙයුමට සම්බන්ධ කරගැනීමේ වැදගත්කම තායිලන්ත රජයට පවසා ඇත්තේ දරුවන් මුලින්ම සොයාගැනුණු බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් විශේෂඥයන් විසිනි.

වෛද්‍ය වෘත්තියට අමතරව විශේෂඥ කිමිදුම්කරුවෙකුද වන හැරිස් බොහෝ ගුහාවල කිමිදීමේ දක්ෂතා දක්වා ඇත්තෙකි. එහිදී, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ක්‍රිස්මස් දූපත් සහ චීනය යන රටවලද ඔහු සිය දක්ෂතා පෙන්වා ඇත.



Recommended Articles