තායි දරුවන් මුදාගත් බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයා - ටෙස්ලා ප්‍රධානී ගැටුමක්


ටෙස්ලා සමාගම් ප්‍රධානී එලොන් මස්ක්ට එරෙහිව නඩු මගට පිවිසීමට අදහස් කරන බව තායිලන්ත ගුහාවේ සිරවූ දරුවන් බේරාගත් බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් විශේෂඥයා අවධාරණය කරයි.

තායිලන්තයේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරාගැනුණු දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා මුලින්ම ගුහා සංකීර්ණය වෙත පිවිසි කිමිදුම් විශේෂඥයෙකු ලෙස වර්න් අන්ස්වර්ත් හඳුනා ගැනෙයි.

එහිදී, එලොන් මස්ක් විසින් දරුවන් බේරාගැනීම සඳහා නිර්මාණය කළේ යැයි පැවසූ කුඩා සබ්මැරීනය ඔහුගේ වෙළෙඳ ප්‍රවර්ධනයක් යැයි අන්ස්වර්ත් පැවසීමත් සමග උරණ වූ මස්ක් සිය ට්විටර් ගණුමේ සටහනක් තබමින් අන්ස්වර්ත් 'ළදරු පුද්ගලයෙකු' බව සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම ට්විටර් පණිවුය පසුව මකා දැමීමට මස්ක් කටයුතු කර තිබුණත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අන්ස්වර්ත් මාධ්‍ය වෙත පවසා තිබුණේ, මෙය මෙතනින් අවසන් නොවන බව අවධාරණය කරමිනි.

මෙම ට්විටර් පණිවුඩයේදී අන්ස්වර්ත්ගේ නම සඳහන් නොකිරීමට මස්ක් කටයුතු කර තිබුණත්, තායිලන්තයේ ජීවත් වන බ්‍රිතාන්‍ය විශේෂඥයා ලෙස ඔහුව හඳුන්වා තිබුණි.

පසුගිය සතියේ මෙම මෙහෙයුම යන අවස්ථාවේදී මෙහෙයුම භාර ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ තායිලන්ත හමුදා ප්‍රධානී නරොන්ග්සාක් ඔසෝට්තනාකෝර්න් පවසා තිබුණේ මස්ක් ඉදිරිපත් කළ සබ්මැරීනය ඔවුන්ගේ මෙහෙයුම සඳහා ප්‍රායෝගික නොවන නිර්මාණයක් බවයි. එමෙන්ම, එය තාක්ෂණික විචිත්‍රත්වයක් පමණක් බවද හෙතෙම අවධාරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඔහුගේ මතයටද විරෝධය දැක්වූ මස්ක් පවසා තිබුණේ මෙහෙයුම් ප්‍රධානියා වැරදීමකින් ප්‍රධානියා වූවෙකු බවය. එමෙන්ම, මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු විශේෂඥයෙකු නොවන බවද මස්ක් සඳහන් කර තිබුණි.

නමුත්, ඔහුගේ මෙම මාන්නයෙන් පිරි අදහස් මේ වනවිට සමාජජාල තුළ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.



Recommended Articles