තායිලන්තයේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරාගැනුණු දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු රෝහල් ඇඳන් මත සිටම වීඩියෝ පණිවුඩයක් නිකුත් කර තිබේ.
උතුරුදිග තායිලන්තයේ, චියෑන්ග් රායි පළාතේ නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම දරුවන් සිය වීඩියෝ පණිවුඩයෙන් තමන්ට උදව් උපකාර කළ දෙස් විදෙස් සියලු දෙනාට සිය කෘතඥතාව පළ කිරීමට මෙම වීඩියෝ පණිවුඩය යොදාගෙන ඇත.
මුඛ ආවරණ පැළඳ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඔවුන් එකිනෙකා මෙම වීඩියෝ පණිවුඩය සඳහා සිය හඬ අවදි කර තිබුණි.
එහිදී, මෙම දරුවන් දින 9කට ආසන්න කාලයක් ගුහාව තුළ සිටියදී ඔවුන් බේරාගැනීම සඳහා මුලින්ම පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කිමිඳුම්කරුවන් සමග හොඳින් ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කරගත් අදුල් සැමොන් මෙහිදීද ඉංග්‍රීසි බසින්ම සිය අදහස් දැක්වීම සිදුකර ඇත.
හෙලෝ... මම අදුල්. දැන් මට ගොඩාක් හොඳයි. මට උදව් කළ හැමෝටම මා ස්තූතිවන්ත වෙනවා. බොහෝම ස්තූතියි. ඔහුගේ පණිවුඩය විය.
එහිදී, අනෙකුත් දරුවන් තායි භාෂාවෙන් සිය කෘතඥතා දැක්වීමේ පණිවුඩ නිකුත් කර තිබුණු අතර, ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වූ 25 හැවිරිදි එකාපෝල් රාජකීය තායි නාවික හමුදාවට සහ අගමැතිවරයාටද මෙහිදී විශේෂයෙන් ස්තූතිය පළ කර තිබුණි.
මේ අතර, තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබුනේ මේ වනවිට දරුවන් සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.
මෙම කාලය තුළ ඇතැම් දරුවන්ගේ බර රාත්තල් 11කින් පමණ අඩුවී ඇති බවත්, බේරා ගැනුණු දරුවන්ගෙන් බහුතරය ඔවුන්ට ප්‍රතිකාර ඇරඹීමෙන් පසුව රාත්තල් 4කින් පමණ බර වැඩි කරගෙන ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.