තායිලන්තයේ විශාල ගුහාවක සති දෙකකට වැඩි කාලයක් සිරවී සිටි දරුවන් 12දෙනාගෙන් දරුවන් 4 දෙනෙකු ඊයේ (08දා) රාත්‍රියේදී බේරාගැනීමෙන් පසුව, ඉතිරි දරුවන් 8 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුමට විශේෂඥ කිමිදුම් කණ්ඩායම් සැරසෙති.
මෙම මෙහෙයුම අතිශය අවදානමක් දරණ මෙහෙයුමක් වන අතර, එය ඉතා සංකීර්ණ මෙහෙයුමක්ද වන බව ඊට සම්බන්ධව සිටි කිමිදුම් විශේෂඥයෝ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි.
එහිදී, බේරාගත් දරුවන්ගේ මුහුණ සම්පූර්ණයෙන් වැසෙන ආකාරයේ මුහුණු ආවරණයක් ලබාදී ඔවුන්ට පහසුවෙන් හුස්ම ගැනීමට අවස්ථාව සලසා, ඔවුන්ගේ ඔක්සිජන් ටැංකිය ඔවුන් දෙපසින් පිහිනා යන විශේෂ කිමිඳුම්කරුවන් අත දරමින් මෙම සංකීර්ණ මෙහෙයුම සිදුකර තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එසේ පිටතට ගැනුණු දරුවන් ගුවන් මගින් මෙන්ම ගිලන් රථ මගින් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණු අතර, ඔවුන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
එහිදී, ඊයේ රාත්‍රියේ බේරාගැනුණු දරුවන් 4 දෙනා මුදාගැනීමේ මෙහෙයුමෙන් පසුව මෙම කිමිදුම් කණ්ඩායම් භාවිත කළ ඔක්සිජන් ටැංකි යළි පිරවීමට අවශ්‍ය බැවින් මෙහෙයුම තාවකාලිකව නවතා දැමීමට ඊයේ රාත්‍රියේ තීරණය කෙරිණි.
පසුගිය ජුනි 23 වැනිදා තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය නැරඹීමට පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු පැමිණියද හදිසියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීමෙන් ඔවුන් එහි කිලෝමීටර් 4ක් පමණ ඔබ්බෙහි ගොඩැල්ලක් මත සිරවුණි.
මෙම දරුවන් අතුරුදන් වූ දින සිට ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් දින 9කට පසුව දරුවන් සිටි ස්ථානයට ළඟා විය.
පසුව දරුවන් පිටතට ගැනීමේ අභියෝගය පැන නැගුණු අතර, වර්ෂා කාලය අවසන් වනතෙක් මාස කිහිපයක් බලා සිටීමට මුලින් තීරණය වුවත්, වර්ෂාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම නිසා පැවති අවදානම තේරුම්ගත් තායිලන්ත බලධාරීන් දරුවන් කඩිනමින් පිටතට ගැනීමේ මෙහෙයුමක් ඇරඹීය.
මෙම මෙහෙයුම සඳහා විදෙස් විශේෂඥයන්ගේ සහාය සහ තාක්ෂණික දැනුම තායිලන්ත රජයට ලැබුණු අතර, විදෙස් නායකයන් මෙන්ම ලෝකයම මෙම මෙහෙයුම දෙස වඩාත් අවධානයෙන් බලා සිටියහ.
විශේෂයෙන්ම, පසුගියදා මෙම මෙහෙයුම අතරතුර තායිලන්තයේ හිටපු නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අභාග්‍යසම්පන්න සිදුවීමක්ද වාර්තා වූ අතර, ඔහු මේ වනවිට තායිලන්තයේ වීරයෙකු බවට පත්ව සිටින බවද විදෙස් වාර්තා පවසයි.