තායිලන්තයේ ගුහාවක සිර වී සිටි දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමෙන් පසුව එම දරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රථම ඡායාරූප පෙළ මාධ්‍යයට නිකුත් කර තිබේ.
රෝහලේ විශේෂ හුදෙකලා වාට්ටුවක ප්‍රතිකාර ලබන දරුවන් රෝහල් ඇඳන් මත සිට කැමරාව වෙත අභියෝග ජයගත් Rock'n'roll 'horns' සංඥාව මෙන්ම ජයග්‍රහණය දැක්වෙන Victory සංඥාව පෙන්වන ආකාරයද එම ඡායාරූපවල දැක්වෙයි.
එමෙන්ම, මෙම ඡායාරූපවලට අනුව ඔවුන් මුලින්ම බේරාගැනුණු දරුවන් 8දෙනා විය හැකි බව සඳහන් වන අතර, ඒ සෑම දරුවෙකු මෙන්ම, ඔවුන් රැකබලා ගන්නා වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයද මුහුණු ආවරණ සහිතව සිටිති.
මීට අමතරව, දරුවන්ට දෙමවුපියන් සමග එකතු වීමට තවම අවස්ථාවක් ලබා දී නැති අතර, දරුවන්ගේ දෙමවුපියන් රෝහල් කාමරයේ වීදුරු ජනෙල් තුළින් දරුවන් දෙස බලා සිටින ඡායාරූපද මාධ්‍යයේ පළ වී ඇත.
මෙම දරුවන් හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පසුගිය ජූනි 23දා මෙම ගුහාවේ සිරවූ අස්ථාවේ සිට ඔවුන් සොයා ගැනුණු ජූලි 02දා දක්වාම ඔවුන් ආහාරයට ගෙන තිබුණේ ගුහාවේ බිත්ති දිගේ බේරී එන ජලය පමණි.
එමෙන්ම, මෙම දරුවන් ගුහාව තුළ සිටි කාලය තුළ ඔවුන්ව ශාරීරිකව මෙන්ම මානසිකවත් ධෛර්යවත් කිරීමට ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු කටයුතු කර තිබේ.
කලක් පැවිදිව සිටි අයෙකු ලෙසද සැලකෙන පාපන්දු පුහුණුකරු සම්බන්ධයෙන් ඇතමෙකු යම් චෝදනා මුඛයෙන් කතා කළත්, ඔහු මෙම දරුවන් ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාව අගය කරන්නෝද බොහෝ සිටිති.