ත්‍රස්තවාදයට එරෙහි සටනේදී චීනයට දෙබිඩි පිළිවෙත් නෑ


ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී දෙබිඩි පිළිවෙතක් නොතිබිය යුතු බවත් ත්‍රස්තවාදීන් දේශපාලන ආත්මාර්ථකාමී හෝ මතවාද පදනම් කරගෙන නිර්වචනය නොකළ යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් පවසා සිටියේය.

"ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්ම තමයි. දේශපාලන අවශ්‍යතා මත ත්‍රස්තවාදීන් නිර්වචනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම ත්‍රස්ත ක්‍රියාකාරකම් අනුමත කිරීමක් පමණයි. එමගින් ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහයෝගීතාව බරපතල ලෙස අඩපණ වෙනවා" ෂාවෝ පැවසීය.

ජනවාර්ගික සුළුතර කණ්ඩායම් ආරක්ෂා කිරීමේ හෝ ආගමික නිදහස රැකගැනීමේ මුවාවෙන් අන් අයගේ නීත්‍යානුකූල ත්‍රස්ත විරෝධී සහ අන්තවාදී විරෝධී ක්‍රියාමාර්ගවලට හෝ භූදේශපාලනික ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා ත්‍රස්ත සංවිධාන අනුමත කිරීමට හෝ භාවිත කිරීමට චීනය විරුද්ධ වන බව ඔහු පැවසීය.

බීජිං හි පැවති දෛනික මාධ්‍ය සාකච්ඡාවේදී 2001 සැප්තැම්බර් 11 දින එක්සත් ජනපදයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ 20 වැනි සංවත්සරය ගැන අදහස් විමසන විට ෂාවෝ මෙම ප්‍රකාශය කළේය.

9/11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ යුද්ධයකට ගිය අතර, එය පසුගිය මාසයේ රටින් ඉවත් වීම සම්පූර්ණ කළේය.

ෂාවෝ පැවසුවේ, වසර 20ක් පුරා ඇමරිකාව විසින් ඇෆ්ගන් භූමියේ සිදුකළ යුද්ධයේදී ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවට ත්‍රස්තවාදී සංවිධාන සහ විදේශීය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.

ඇෆ්ගන් අර්බුදයේදී එක්සත් ජනපදය වරදකරු ලෙස හැඳින් වූ ෂාවෝ කියා සිටියේ, එහි හමුදාමය මැදිහත්වීම අවසන් කිරීම එහි වගකීම භාර ගැනීමේ ආරම්භය විය යුතු බවයි.

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට ස්ථාවරභාවය සාක්‍ෂාත් කර ගැනීමට සහ අවුල්සහගතභාවය වැළැක්වීමට, ත්‍රස්තවාදයේ තර්ජනය මැඩපැවැත්වීමට සහ හොඳ සංවර්ධනයක් කරා යාමට උපකාර කළ යුතු බව එම ප්‍රකාශකයා පැවසීය.

පසුගිය වසර 20ක් තුළ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත් ප්‍රගතියක් ලබා ඇති බවද ෂාඕ පැවසීය.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන් නව තාක්‍ෂණයන් අනිසි ලෙස භාවිත කිරීම හෝ කොවිඩ්-19 වසංගතය ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම සඳහා යොදාගැනීම හේතුවෙන් තත්ත්වය තවමත් සංකීර්ණ හා බරපතල බව ඔහු අනතුරු ඇඟවීය.



Recommended Articles