තලේබාන්වරු ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකරලා


තලේබාන් සංවිධානය උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්දුස්, සාර්-ඒ පුල් සහ තාලොකාන් යන නගර අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අත්පත් කරගෙන ඇත. ඇෆ්ගන් හමුදාවන්ට එය විශාල පහරක් වුවත්, දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින එකම නගරය එය නොවේ.

ඒ අනුව තලේබාන් සංවිධානය මේ වනවිට කුන්දුස්හි ප්‍රධාන රජයේ ස්ථාන අල්ලාගෙන ඇත. මෙම නගරය ජර්මානු හමුදාවන්හි කලින් පැවති මෙහෙයුම් කඳවුරකි. මීට අමතරව තලේබාන් සංවිධානය විසින් තවත් පළාත් අගනගර දෙකක් වන සාර්-ඒ පුල් සහ තලොකාන් යන නගරත අත්පත් කරගෙන ඇත. එමෙන්ම ඇෆ්ගනිස්තානයේ ලෂ්කාර් ගාහ්, හේරත් සහ කන්දහාර් හි සටන් දිගටම පවතී.

මේ අතර තලේබාන් සංවිධානයේ දේශපාලන ප්‍රකාශක මොහොමඩ් නයිම් අල්-ජසීරා රූපවාහිනියට පැවසුවේ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන රජය සමග සටන් විරාම ගිවිසුමක් නොමැති බැවින්, තවදුරටත් මෙම සටනට මැදිහත් නොවන ලෙස ඇමෙරිකාවට අනතුරු ඇඟවූ බවත්ය.

එහිදී මෙම සටන සඳහා රජයේ පාර්ශ්වයට දොස් පැවරූ ඔහු, රජය ආක්‍රමණිකයන් ලෙස හැඳින්වූ අතර තලේබාන් ප්‍රහාර ප්‍රතිචාරයක් ලෙස කියා සිටියේය. සටන්කාමීන්ට සාමය අවශ්‍ය බව තවත් තලේබාන් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අල්-ජසීරා වෙනම වාර්තා කළේය.



Recommended Articles