තරුණ සහස්‍රකයන් කොවිඩ් සටනේදී අනාරක්ෂිත වෙලා


කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී තරුණ සහශ්‍රකයන්ගේ අනාරක්ෂිත හැසිරීම් වෛරසය පාලනය කිරීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බැවින්, ඔවුන්ගේ සහාය හා කැපවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අවධාරණය කරයි.

විශේෂයෙන් තරුණ සහශ්‍රකයන් (වත්මන් නව යොවුන් වියේ තරුණ පරපුර) සහ වයස අවුරුදු 40ට අඩු පිරිස කොවිඩ්-19 මාර්ගෝපදේශ ආරක්ෂා කිරීමට කැපවන ලෙස ඔහු කියා සිටියේය.

"සහස්‍රකයන්ට සහ වයස 40 ට අඩු අයටද ආයාචනා කිරීමට මට අවශ්‍යයි. අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා මේ කණ්ඩායම්වල සැබෑ කැපවීම ඇත්තෙන්ම වැදගත්. ඒ වගේම එයින් අවදානමට ලක්ව ඇත්තේ වැඩිහිටියන් පමණක් නොවෙයි. අපගෙන් බොහෝ දෙනෙකුට තවත් මිතුරන් සහ සගයන් සිටිනවා. අප නොදැනුවත්වම ඔවුන්ටත් මේ රෝගාබාධ අප සම්ප්‍රේෂණය කරනවා" රෙඩ්ෆීල්ඩ් පැවසීය.

නව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති බලවත්ම ආයුධය 'පූර්වාරක්ෂාව' ලෙස හැඳින්වූ රෙඩ්ෆීල්ඩ්, ඇමෙරිකානු ජනතාව ඒවා පුරුද්දක් ලෙස එදිනෙදා ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කිරීම සාමූහික වගකීමක් බවද අවධාරණය කළේය.

එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා නැවත නැවතත් කියා සිටියේ එකිනෙකාගෙන් අඩි හයක් සමාජ දුරස්ථකරණය ආරක්ෂා කිරීම, ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණය අනිවාර්යයෙන් පැලඳ සිටීම සහ දැඩි සනීපාරක්ෂක පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බවයි.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ යළිත් වර්ධනය වන කොරෝනා රැල්ල සමග වැඩි වශයෙන් තරුණ ප්‍රජාව වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.



Recommended Articles