ඩෙල්ටාවේ තැන ගැනීමට එන කොවිඩ් ප්‍රභේදය කුමක් වේවිද


මේ වනවිට SARS-CoV-2 වෛරසයේ ලොව ප්‍රමුඛතම ප්‍රභේදය වන ඩෙල්ටාව කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබුණත්, යම් දිනෙක එහි තැන ගැනීමට පැමිණෙන ප්‍රභේදය කුමක් වේවිද යන්න සෙවීම සඳහාද විද්‍යාඥයන් යුහුසුළුව ලුහුබඳිමින් සිටින බව කියයි.

SARS-CoV-2 වෛරසය අඛණ්ඩව ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට ග්‍රීක හෝඩිය තවදුරටත් පුළුල් කරමින් නව ප්‍රභේද ලෝකය තුළ ඉස්මතු වෙමින් පවතින පරිසරයක මෙම අවධානය වැඩිවී තිබේ.

ඩෙල්ටා - තවමත් ආධිපත්‍යය ගනියි

ඉන්දියාවේ මුලින්ම සොයාගත් ඩෙල්ටා ප්‍රභේදය වඩාත් කණස්සල්ල ඇති කළ ප්‍රභේදයයි. එය බොහෝ රටවල එන්නත් නොකළ ජනගහනයට කැපී පෙනෙන ප්‍රහාරයක් එල්ල කළ අතරම, වෛරසයේ පෙර ප්‍රභේදයන්ට වඩා එන්නත් කළ පුද්ගලයන්ටද ආසාදනය වීමේ හැකියාව පෙන්නුම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙල්ටා සැලකිලිමත් වියයුතු ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කරයි. එයින් අදහස් කරන්නේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි කිරීමට, වඩාත් දරුණු රෝග ඇති කිරීමට හෝ එන්නත් හා ප්‍රතිකාරවල ප්‍රතිලාභ අඩු කිරීමට හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට ඇති බවයි.

සැන් ඩියාගෝ හි ලා ජොල්ලා ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ වෛරස් විද්‍යාඥ ෂේන් ක්‍රොටිට අනුව ඩෙල්ටාවේ "සුපිරි බලය" එහි සම්ප්‍රේෂණ හැකියාවයි. කොරෝනා වෛරසයේ මුල් පිටපත හා සසඳන විට ඩෙල්ටා ආසාදිත පුද්ගලයන්ගේ නාසයේ වෛරසය 1,260 ගුණයක් වැඩියෙන් තිබෙන බව චීන පර්යේෂකයෝ සොයා ගත්හ. එක්සත් ජනපදයේ සමහර පර්යේෂණවලින් ඇඟවෙන්නේ ඩෙල්ටා ආසාදනය වූ එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ වෛරස් බර, එන්නත ලබා නොගත් අයට සමාන බවයි. කෙසේ වෙතත් ඊට වැඩි පර්යේෂණ අවශ්‍ය බවද සඳහන් කර තිබුණි.

මුල් කොරෝනා වෛරසය රෝග ලක්‍ෂණ ඇති කිරීමට දින 7ක් ගතවුවද, ඩෙල්ටාවට දින දෙක තුනකින් රෝග ලක්‍ෂණ ඇති කළ හැකි අතර, එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිචාර දැක්වීමට සහ ආරක්‍ෂක පියවර ගැනීමට අඩු කාලයක් ලබාදීම කණස්සල්ල ඇති කරන්නකි.

මග පැමිණෙමින් සිටි - ලැම්බ්ඩා

ලැම්බ්ඩා ප්‍රභේදය නව තර්ජනයක් ලෙස අවධානයට ලක් වූ නමුත් දෙසැම්බර් මාසයේදී පේරු හිදී මුලින්ම හඳුනා ගත් කොරෝනා වෛරසයේ මෙම අනුවාදය මේ වනවිට පසුබසින බව සඳහන් වෙයි.

ජූලි මාසයේදී ලැම්බඩා සම්බන්ධ සිද්ධීන් ඉහළ යමින් තිබුණද, පසුගිය සති හතර තුළදී මෙම ප්‍රභේදය පිළිබඳ වාර්තා ගෝලීය වශයෙන් පහත වැටෙමින් තිබූ බව SARS-CoV-2  ප්‍රභේද නිරීක්ෂණය කරන ගිසයිඩ් දත්ත එකතුව පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලැම්බ්ඩා උනන්දුවක් දක්වන ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කරයි. එයින් අදහස් කරන්නේ සම්ප්‍රේෂණය වීමේ වෙනසක් සිදු කරන බවට හෝ වඩාත් දරුණු රෝග ඇති කරන බවට සැක කෙරෙන විකෘති ඇති නමුත් එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි. එසේම රසායනාගාර අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ එන්නත මගින් ඇති කරන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධී වන විකෘති එහි ඇති බවයි. නමුත් මේ සඳහාද තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව කියයි.

MU - හොඳින් බලා සිටිය යුතුයි

කලින් B1621 ලෙස හැඳින්වූ MU ප්‍රභේදය මුලින්ම පසුගිය ජනවාරි මාසයේදී කොලොම්බියාවේදී හඳුනා ගැනුණි. අගෝස්තු 30 වැනි දින, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ප්‍රභේදයේ විකෘති කිරීම් කිහිපයක් හේතුවෙන් එය උනන්දුවක් දක්වන ප්‍රභේදයක් ලෙස නම් කළ අතර, එයට ග්‍රීක අක්ෂර නමක්ද පවරන ලදී.

සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩිවීම සහ ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව අඩුවීම සමග සම්බන්ධ වී ඇති E484K, N501Y සහ D6114G ඇතුළු මුලික විකෘති MU ප්‍රභේදය මගින් ගෙන යයි.

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට අනුව, MU දකුණු ඇමෙරිකාවේ සහ යුරෝපයේ විශාල වසංගත ඇති කිරීමට හේතු වී තිබේ. කෙසේ වෙතත් ගෝලීය වශයෙන් MU ලෙස හඳුනාගත් ජානමය අනුක්‍රමණයන් සංඛ්‍යාව 0.1%ට වඩා පහත වැටී ඇති අතර, කොලොම්බියාවේ අනුපිළිවෙල අනුව සිදු වූ ප්‍රභේදවලින් 39%ක් සහ ඉක්වදෝරයේ 13%ක් නියෝජනය කරන අතර එහි ව්‍යාප්තිය "අඛණ්ඩව ආසාදන ඉහළ ගොස් ඇති" ස්ථානවලින් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.

ගෝලීය සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ දකුණු ඇමෙරිකාවේ, විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය සමග සම සංසරණය වන ප්‍රදේශයන්හි MU සිදු කරන වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගී එන රෝග ඒකකයේ ප්‍රධානී මාරියා වැන් කර්කොව් පැවසුවේ ගෝලීය වශයෙන් ප්‍රභේදයේ සංසරණය අඩු වන නමුත් එය හොඳින් නිරීක්ෂණය කළ යුතු බවයි. පසුගිය සතියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි කියා සිටියේ ඇමෙරිකානු බලධාරීන් ඒ දෙස බලා සිටින නමුත්, මේ වන විට එය ක්ෂණික තර්ජනයක් ලෙස නොසලකන බවයි.

තවත් ඒවා මග එනවාලු?

කොවිඩ්-19 ට එරෙහිව වැඩි වැඩියෙන් පුද්ගලයන් එන්නත් කිරීම ඉතා වැදගත් වන්නේ එන්නත් නොකළ විශාල පිරිසක් වෙත SARS-CoV-2 ආසාදනය වීමෙන් වෛරසය නව ප්‍රභේද දක්වා ව්‍යාප්ත වීමට හා විකෘති වීමට වැඩි අවස්ථාවක් ලබාදෙන බැවිනි.

ඉතා සුළු පිරිසකට එන්නත් ලබාදී ඇති දුප්පත් ජාතීන්ගේ ජනගහනය අතර පාලනයකින් තොරව ආසාදන මතුවීම වැළැක්වීම සඳහා එම උත්සාහය ජාත්‍යන්තරව ශක්තිමත් කළ යුතු බව විශේෂඥයෝ පවසති.

එසේ වුවද, වර්තමාන එන්නත් මගින් දරුණු රෝග හා මරණය වළක්වන අතර, ඒවා ආසාදනය වීම වළක්වන්නේ නැත. වෛරසයට තවමත් එන්නත ලබාදුන් පුද්ගලයන් තුළ පවා නාසයේ ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. එවිට වාතයට නිරාවරණය වන කුඩා බිඳිති මගින් රෝගය සම්ප්‍රේෂණය කළ හැකිය.

මායෝ සායනයේ එන්නත් සංවර්ධක ආචාර්ය ග්‍රෙගරි පෝලන්ඩ්ට අනුව, SARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව පෝලන්ඩ් සහ අනෙකුත් ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.



Recommended Articles