ඩෙල්ටාව ග්‍රීසියේ සංචාරක පුනර්ජීවනයට තර්ජනයක්


ග්‍රීසියේ සංචාරක සමය හොඳින් සිදුවෙමින් පවතින අතරතුර, ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය මගින් මෑත සති කිහිපය තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යෑම එරට සංචාරක කර්මාන්තයට යළිත් තර්ජනයක් ඇති කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් තවමත් ලොව පුරා නිවාඩු ගත කරන්නන් මෙම ගිම්හානයේදී ග්‍රීසියට යාමට තෝරාගෙන තිබීම යම් අස්වැසිල්ලක් වුවත්, එය කවර මොහොතක බිඳ වැටෙනු ඇතිද යන්න අපැහැදිලිය.

දත්ත විශ්ලේෂණ සමාගමක් සඳහන් කළේ, අනෙකුත් යුරෝපීය නිවාඩු ගමනාන්තයන්ට වඩා ග්‍රීසියේ පූර්ව වසංගත මට්ටමේ ගුවන් ගමන් තවමත් ක්‍රියාත්මක වන බවයි.

2020 වසරේ එම කාලය පරිච්ඡේදයට සාපේක්ෂව ජූලි මාසයේ ගුවන් ගමන් සංඛ්‍යාව 130%කින් ඉහළ ගොස් තිබේ. මැයි සිට ජූලි දක්වා නිවාඩු ගත කරන්නන් මිලියන 2.3ක් ග්‍රීසියට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ 660,000ක් පමණි.

හෙලනික් හෝටල් මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ රජය කඩිනම් පියවර නොගත්තේ නම් සංචාරක සංඛ්‍යාව වැඩි කළ නොහැකිව තිබූ බවයි.

"මේ අංශයට තවමත් අවශ්‍ය උපකාරය මනාව සකස් කර ගැනීම සඳහා අපි රජය සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් සහ සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා. අපි සඳහන් කළාක් මෙන් ගිය අවුරුද්දට වඩා හොඳයි. නමුත් අපි සාමාන්‍ය සංඛ්‍යාවට වඩා තවමත් බොහෝ ඈතින් සිටිනවා." ඇලෙක්සැන්ඩ්‍රොස් වාසිලිකෝස් පැවසීය.

කෙසේ වෙතත් නෙදර්ලන්තය විසින් ග්‍රීසිය එහි ඉහළ අවදානම් සහිත ගමනාන්ත ලැයිස්තුවට ගෙනයන බව නිවේදනය කිරීමෙන් පසුව ජර්මනියද දේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් කළේය. ජුනි මාසයේදී ජර්මානු සංචාරකයින් 260,000කට වැඩි ප්‍රමාණයක් ග්‍රීසියට පැමිණ ඇත. ඒ අනුව ජර්මානු රජයද ග්‍රීසිය "කොවිඩ්-19 අධි අවදානම් කලාපයක්" ලෙස ප්‍රකාශයට පත් කිරීමට සලකා බලයි. එම තීරණය ග්‍රීක සංචාරක කර්මාන්තයට මරු පහරක් වනු ඇත.

ග්‍රීසිය විසින් කොවිඩ්-19 වසංගතය හමුවේ ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගය වන්නේ, සංචාරකයෙකු එන්නත් ලබාගෙන ඇති බවට වූ සහතිකය හෝ පැමිණීමෙන් පැය 72ක් කොවිඩ්-19 සෘණාත්මක පරීක්‍ෂණයක් කිරීමය. එමෙන්ම ආගන්තුක සත්කාරයේ යෙදෙන ඕනෑම අයෙකුට සතියකට තුන් වරක් අනිවාර්ය පරීක්ෂාවකට භාජනය වීමද සිදුවෙයි.

සෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.



Recommended Articles