ඩෙල්ටා සමගින් ඇමෙරිකානු ආසාදනවල යළි ඉහළ යෑමක්


අධික ආසාදනයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛතම කොවිඩ්-19 ප්‍රභේදය බවට පත්වන විට, එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් ගෙවුණු සතියට වඩා 11%කින් පමණ මෙම සතියේදී ඉහළ ගොස් ඇති බවත්, ඔවුන් සියලුදෙනාම පාහේ සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා නොගත් අයවලුන් බවත් අනාවරණය වෙයි.

මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

මෑත මාසවල මූලික දත්තවලට අනුව කොවිඩ්-19 ආසාදනවලින් 99.5% ක්ම සිදුවී ඇත්තේ අනාරක්ෂිත (එන්නත් ලබා නොගත්) පුද්ගලයින් තුළ බව ඇය පැවසුවාය.

"සරලව කිව්වොත්, එන්නත අඩු ආවරණයක් සහිත ප්‍රදේශවල, රෝගීන් සහ රෝහල් ගතවීම් ඉහළ ගොස් තිබෙනවා" වැලෙන්ස්කි පැවසීය.

මෙම සතිය මුලදී CDC කියා සිටියේ කොවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති බවයි. අධිකව බෝවන මෙම ප්‍රභේදය ලොව පුරා වෙනත් රටවලද ප්‍රමුඛ වී තිබේ.

"ඇතැම් ප්‍රාන්තවල අඩු එන්නත් අනුපාත සහ ආසාදන ඉහළ යෑම දැකගැනීමට පුළුවන්. ඒ වගේම රෝගවලින් ආරක්ෂා නොවන අයව ආරක්ෂා කරන මහජන සෞඛ්‍ය නීති පවා මෙම ප්‍රාන්තවල ලිහිල්වීම අනවශ්‍ය දුක්ගැහැටවලට තුඩු දෙනවා." වැලෙන්ස්කි පැවසීය.

මේ අතර ධවල මන්දිරය පසුගිය සතියේ කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය පුරා ආසාදන වැඩි ස්ථාන වෙත විශේෂ කණ්ඩායම් යවන බවයි.

එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම යෞවනයන්ට විශේෂයෙන් භයානක බවත්, කොරෝනා වෛරසයේ අනෙකුත් ප්‍රභේදයන්ට වඩා එය තරුණ අය අතර දරුණු රෝග ඇති කළ හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ.



Recommended Articles