ඩෙල්ටා නිසා දිනාගත් ජය අහිමි වී යෑමේ අවදානමක්!


බෙහෙවින් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන හෙයින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කිරීමේදී ලෝකය ලබාගත් ජයග්‍රහණ අහිමි වී යෑමේ අවදානමට ලක්ව ඇති නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙස එම සංවිධානය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොවිඩ්-19 ආසාදනයන් පසුගිය සති හතර තුළදී ලෝකයේ බොහෝ ප්‍රදේශවල 80%කින් ඉහළ ගොස් ඇති බවයි. එම කාලය තුළ අප්‍රිකාවේ මරණ 80%කින් ඉහළ ගොස් තිබුණත්, ජනගහනයෙන් 1.5 %ක් පමණක් සම්පූර්ණ එන්නත් ලබාගෙන තිබීම කණස්සල්ල වැඩිකර තිබේ.

"වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි" ටෙඩ්‍රොස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදය රටවල් 132කදී මේ වනවිට හඳුනාගෙන ඇති අතර එය ගෝලීය වසංගතයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම හදිසි අවස්ථා විශේෂඥ මයික් රයන් පැවසුවේ, "ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට අනුමත කර ඇති එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව සියලුම ප්‍රභේදයන්ගෙන් දැඩි රෝගාබාධ හා රෝහල් ගතවීම්වලින් සැලකිය යුතු ආරක්ෂාවක් ලබාදෙනවා. අපි එකම වෛරසයකට එරෙහිව සටන් කරමින් සිටින නමුත්, මිනිසුන් වන අප අතර සම්ප්‍රේෂණය වීමට වඩා වේගයෙන් හා හොඳින් අනුගත වූ වෛරසයක් බවට ඩෙල්ටා ප්‍රභේදය පත්ව තිබෙනවා. වෙනස එයයි" ඔහු පැවසීය.

කොවිඩ්-19 හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණ මෙහෙයවන්නා වන මාරියා වෑන් කර්කොව් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය මෙතෙක් ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. 2019 දී මුලින්ම මතුවූ සාර්ස්-කොව්-2 වෛරසය ප්‍රභේදයටත් වඩා 50%ක පමණ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් එය සතු බවද ඇය කීවාය.

රෝහල් ගතවීමේ අනුපාතය ඉහළ ගොස් ඇති බව රටවල් කිහිපයක් වාර්තා කර ඇති නමුත්, ඩෙල්ටා ප්‍රභේදයෙන් ඉහළ මරණ අනුපාතයක් තවමත් වාර්තා වී නැති බව ඇය පැවසුවාය.



Recommended Articles