ටෝකියෝ ඔලිම්පික් සියලුම ප්‍රේක්ෂකයන්ට තහනම් වේවිලු


ජපානය කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින අවස්ථාවේදී ජපාන රජය මේ මාසයේ එරටදී ආරම්භ වන ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සියලුම ඉසව් ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් මේ වනවිටත් විදේශීය ප්‍රේක්ෂකයන් තහනම් කර ඇති අතර, දේශීය ප්‍රේක්ෂකයන් සඳහා සමස්ත ධාරිතාවයෙන් 50%ක්, හෝ උපරිම ප්‍රේක්ෂකයන් 10,000ක සිමාවක් පනවා තිබුණි.

අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගාගේ පාලක පක්ෂය පසුගිය ඉරිදා ටෝකියෝහි පැවති මැතිවරණයකදී බහුතර බලයක් දිනාගැනීමට අපොහොසත් වීමෙන් පසුව, මෙවැනි සාකච්ඡා දේශපාලනමය වශයෙන්ද මේ පිළිබඳව සලකා බැලීමේ ප්‍රතිඵලයක් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම එරට ජනගහනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදුකළ මත විමසුම්වලින්ද හෙළි වී තිබුණි.

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමින් ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුව කියා සිටියේ ජූලි 12දායින් පසු ඕනෑම වේලාවක, ටෝකියෝවේ හදිසි තත්ත්වයේ අන්තර්ගතය හෝ බලපැවැත්වෙන වෙනත් අදාළ ක්‍රියාමාර්ග මත පදනම්ව ප්‍රේක්ෂකයන් නොමැති තරග හෝ ප්‍රේක්ෂක සංඛ්‍යාව සීමා කළ තරග පැවැත්වීම සිදුවිය හැකි බවයි.

2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 ජූලි 23දා සිට අගෝස්තු 8දා දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර, පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වීමට නියමිතය.



Recommended Articles