ටොංගා හි ගිනිකඳු හානිය බලන්න නවසීලන්තය යයි


රාජකීය නවසීලන්ත ගුවන් හමුදාවට අයත් ඔරියන් ගුවන් යානයක් සුනාමියෙන් පීඩාවට පත් ටොංගා ඇතුළු පහත් දූපත්වල මූලික බලපෑම් තක්සේරු කිරීමට සහාය වීම සඳහා පිටත් ගොස් තිබේ.

සෙනසුරාදා සුනාමි රළ ටොංගාවට පහර දුන්නේය. ඊට හේතු වූයේ රටේ ප්‍රධාන දිවයින වන ටොන්ගාටාපු සිට කිලෝ මීටර් 65ක් උතුරින් පිහිටි හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි නමැති දිය යට ගිනිකන්ද ආශ්‍රිතව ඇති වූ ප්‍රචණ්ඩකාරී පිපිරීම් මාලාවකි.

කෙසේ වෙතත් මෙම ගිණිකඳු පිපිරීම නිසා ප්‍රබල, අසාමාන්‍ය සහ අනපේක්ෂිත උදම් රළ මුළු රට පුරා සමහර ස්ථානවල පැය 24ක් දක්වා පවතිනු අති බව නවසීලන්තය කීවේය. නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සියට අනුව, ජනතාව සුපරීක්ෂාකාරීව සිටිය යුතු අතර වෙරළ සහ සාගර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමතර පූර්වාරක්ෂාවන් ගත යුතුය.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඉරිදා පැවසුවේ නවසීලන්ත රජය ටොංගා වෙත ආධාර සැපයීම සඳහා ඇ.ඩොලර් 340,000 මූලික මුදලක් ලබා දී ඇති බවයි.

සුනාමිය ටොංගා හි ඉදිරි වෙරළේ කොටසකට සැලකිය යුතු බලපෑමක් ඇති කළ අතර බෝට්ටු සහ විශාල ගල් ගොඩට ගසාගෙන ගොස් වෙරළ තීරයේ වෙළෙඳසැල්වලට හානි සිදුවී ඇති බව ආර්ඩෙන් පැවසීය.

තුවාල හෝ මරණ පිළිබඳ නිල වාර්තාවක් මෙතෙක් ලැබී නොමැත. කෙසේ වෙතත්, සන්නිවේදන බාධාවන්ද එම තොරතුරු ප්‍රමාද වීමට හේතු විය. එරට දිය යටින් ගමන් කරන ප්‍රධාන සන්නිවේදන කේබලයට බලපෑම් එල්ල වී ඇති බව ආර්ඩෙන් පැවසීය.

ඔරියන් ගුවන් යානා පිටත්ව යෑමත් සමග අවශ්‍ය නම් නාවික නෞකාවක් යෙදවීමට නවසීලන්තය සලකා බලමින් සිටින බවත්, අවශ්‍ය දේ පිළිබඳව ටොංගා බලධාරීන්ගෙන් දැන ගැනීමට නවසීලන්ත රජය බලා සිටින බවත් ඇය පැවසුවාය.

මෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.



Recommended Articles