පළමු සැපයුම් කණ්ඩායම බදාදා දිවයිනට පැමිණීමෙන් පසු චීනය ටොංගා වෙත මුදල් සහ අනෙකුත් ආපදා සහන ද්‍රව්‍ය ලබාදෙන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.
ටොංගා හි චීන තානාපති කාර්යාලය සුනාමියෙන් විපතට පත් දූපත් රාජ්‍යයට මූලික මානුෂීය ආධාර වශයෙන් ඩොලර් 100,000ක් පරිත්‍යාග කර ඇති අතර, චීනය බදාදා එරටට පානීය ජලය සහ ආහාර සැපයුම් කඩිනමින් ලබාදුන් බවද ෂාඕ තහවුරු කළේය.
චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සහනාධාර ව්‍යසනයෙන් පසු ටොංගා රජයට ලැබුණු පළමු වැනි හදිසි සහන ද්‍රව්‍ය තොගය බව පවසමින් ටොංගා හි නියෝජ්‍ය අගමැති පෝසි ටෙයි ආධාර පිරිනැමීම ගැන චීනයට ස්තුති කළේය.
සති අන්තයේ ඇති වූ දැවැන්ත ගිනිකඳු පිපිරීමක් සහ පසුව ඇති වූ සුනාමි රළ පහරින් පසුව ටොංගා හි අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර එහි කුඩා පිටත දූපත්වල නිවාස සිය ගණනක් විනාශ වී ඇත.
දශක කිහිපයකින් සිදු වූ විශාලතම ගිනිකඳු පිපිරීම්වලින් එකක් නිසා ටොංගා කලාපයම අළු තට්ටුවකින් වැසී ගොස්, පැසිෆික් සාගරය පුරා සුනාමියක් ඇති කළ අතර, මුහුද යට සන්නිවේදන කේබල් විනාශ කර දැමීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ 84,000ක් පමණ වන ටොංගා හි ජනගහනයෙන් 80%කට වඩා ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි. පිරිසිදු ජලය නොමැති වීම ඔවුනට විශාලතම ජීවිතාරක්ෂක ප්රශ්නය බවද සඳහන් කෙරිණි.