ටෙක්සාස් හි රසායනික කම්හලක පිපිරීමක් - 60000ක් ඉවත් කරලා


එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝට් නීෂස් ආසන්නයේ රසායනික කර්මාන්ත ශාලාවක සිදුවූ දැවැන්ත පිපිරීම් මාලාවක් සමග ඒ අවට සිටි 60,000ක පමණ ජනතාවක් ඉවත් කිරීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.

මෙම කර්මාන්ත ශාලාව ගිනි ජාලාවකින් වැසී යාමට පෙර පිපිරීම් කිහිපයක්ම ඇතිවී තිබෙන අතර, එම කම්පනය සමග අවට නිවාසවල දොර ජනෙල් කැඩී ගොස් තිබේ.

මූලික පිපිරීම්වලදී කර්මාන්ත ශාලාවේ සිටි සේවකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර, පසුව ඔවුන් ඉවතට ගෙන තිබේ.

එරට වේලාවෙන් අද පෙ.ව.7.00ට පමණ පළමු වැනි පිපිරීම සිදුව ඇති අතර, ඉන් අනතුරුව තවත් පිපිරීම් රැසක් සිදුව ඇත.

මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතත්, පැය කිහිපයකට පසුව තවත් ප්‍රබල පිපිරීමක්ද සිදුව තිබේ.

මේ වනවිට ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදා ස්ථානගත කර තිබුණත්, තවදුරටත් පිපිරීම් සිදුවන නිසා ඔවුන් ඒ ආසන්නට ළඟාවී නොමැත.

එම ස්ථානයේ සිට කිලෝමීටර් 6.4ක් දුරට සියලු ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි. 



Recommended Articles