ටුල්සා රැලියේදී සමහර අයට කොවිඩ් හැදෙන්න පුළුවන් ඒත් පොඩි පිරිසකට - ට්‍රම්ප්


ටුල්සා රැලියේදී සමහර පුද්ගලයන්ට නව කොරෝනා වෛරසය වැලඳීමට හැකියාවක් තිබුණත්, එය ඉතා සුළු ප්‍රතිශතයක් වේවි යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා හි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවත්වන දැවැන්ත මැතිවරණ රැලියට පෙර වෝල් ස්ට්‍රීට් ජර්නය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ට්‍රම්ප් මෙසේ පවසා තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙවැනි වගකීමෙන් තොර ප්‍රකාශයක් සිදුකරන්නේ ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ දෛනිකව නව තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන මොහොතකය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විශ්ලේෂණයකට අනුව, ජුනි 17න් අවසන් සතිය තුළ ඔක්ලහෝමා හි දිනකට නව ආසාදිතයන් 203ක් පමණ වාර්තා වී ඇති අතර, එය පෙර දින හතේ වාර්තා වූ අගයට වඩා 110%කින් ඉහළ යෑමකි.

මෙහිදී මුඛ ආවරණ පැලඳීමද අධෛර්යමත් කර ඇති ට්‍රම්ප්, සමහර ඇමරිකානුවන් මුහුණු ආවරණ පැළඳ සිටියේ ඔහුට එරෙහි දේශපාලන ප්‍රකාශයක් ලෙස මිස රෝග වැළැක්වීමේ පියවරක් ලෙස නොවන බවද එම ජර්නලයේ සාකච්ඡාව තුළ පවසා ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන හි දැඩි මඟපෙන්ම වන්නේද සෑම ඇමෙරිකානුවෙකුම මුඛ ආවරණයක් පැලඳීමේ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමය පිළිපැදිය යුතු බවයි.

ඇමෙරිකාවේ ප්‍රමුඛතම බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙන්ම බොහෝ වෛද්‍ය විශේෂඥයන් වසංගතයක් අවස්ථාවේ සිදුකරන මෙවැනි දැවැන්ත ජන ඒකරාශි කිරීම් පිළිබඳ දක්වන්නේ විරෝධාකල්පයකි.



Recommended Articles