ට්‍රම්ප් මාස්ක් නැතිව ඇට්ලන්ටා ඇවිත් - නගරාධිපති දෙහි කපයි


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇට්ලන්ටා සංචාරය අතරතුර හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රැඳී සිටින අවස්ථාවේදී මුඛ ආවරණයක් පැලඳ නොසිට නීතිය කඩ කළ බවට ඇට්ලන්ටා නගරාධිපති කීෂා ලාන්ස් බොටම්ස් චෝදනා කර තිබේ.

මෙම හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ගුවන්තොටුපළ ඇට්ලන්ටා නගරය සතු වන අතර, එම නගරය තුළ මේ වනවිට මුඛ ආවරණය අනිවාර්යය කිරීමේ නියෝගයක් ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු නායකයා ගුවන් තොටුපොළේදී කොංග්‍රස් සභික රික් ඇලන් සහ ඩග් කොලින්ස්, සෙනෙට් සභික ඩේවිඩ් පර්ඩියු සහ කෙලී ලොෆ්ලර් වෙත එකිනෙකාට සමීපව කතාබහ කරමින් සුබ පතන අවස්ථාවේදී මුඛ ආවරණයක් පැලඳ නොසිටි ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, ට්‍රම්ප් හැරුණු විට සෙසු පිරිස් පමණක් මුඛ ආවරණ පැලඳ සිටියහ.

ධවල මන්දිරය මීට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඇට්ලන්ටා සංචාරයේදී එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල මාර්ගෝපදේශ අනුගමනය කළ බවය. එනම් නගරාධිපතිවරයාගේ චෝදනාවට සෘජුවම ආමන්ත්‍රණය නොකළ ධවල මන්දිරය, ඒ වෙනුවට CDC මාර්ගෝපදේශ කතාවක් ගෙනහැර දක්වා තිබේ.

එසේම ධවල මන්දිර පරිපාලන නිලධාරියෙකු පවසා තිබුණේ ජනාධිපතිවරයා සහ ඔහුට සමීපව සිටින සියල්ලන්ම පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු කිසි විටෙකත් ගුවන් තොටුපලෙන් පිටව නොගිය බවත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ලෝකයේ නව කොරෝනා වෛරසයෙන් ප්‍රබලවම බැටකන රාජ්‍ය බවට පත්ව ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව එරට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව අද (16දා) උදෑසන වනවිට 3,495,536ක් ලෙස වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 137,358කි.



Recommended Articles