ට්‍රම්ප් බාල සොයුරු රොබට් හදිසියේම දිවියෙන් සමුගනී


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සහෝදරයා වන 71 හැවිරිදි රොබට් ට්‍රම්ප් නිව්යෝක් රෝහලකදී මිය ගිය බව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

"මගේ සහෝදරයා වන රොබට් අද රාත්‍රියේ සාමකාමීව අභාවප්‍රාප්ත වූ බව මම දැඩි හදවතින්ම ප්‍රකාශ කරමි. ඔහු මගේ සහෝදරයා පමණක් නොව ඔහු මගේ හොඳම මිතුරා වුණා. ඔහුගේ අඩුව මට බොහෝ සෙයින් දැනේවි. නමුත් අපි නැවත හමුවෙමු. ඔබේ මතකය පවතිනු ඇත රොබට්, මම ඔබට ආදරෙයි. සාමයේ සැතපෙන්න." ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් රොබට්ගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර, ඇමෙරිකානු මධ්‍ය කිහිපයකම සඳහන් කර තිබුණේ රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති බවය. ඒ අනුව ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳවද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ. එහිදී, ට්‍රම්ප් සිය සහෝදරයාගේ අවමංගල්‍යයට සහභාගී වන බව කියා ඇති නමුත්, එම අවමංගල්‍ය උත්සවය පිළිබඳවද විස්තර නොමැති බවද මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර සෙනසුරාදා රාත්‍රියේ ජනාධිපතිවරයා සිය සහෝදරයාගේ රෝහල් කාමරයට කතා කර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දැනගෙන ඇති අතර, එහිදී ඔහුට සහෝදරයා සමග කතා කිරීමට ලැබුණේද, නැත්නම් රෝහල් බලධාරීන් විසින් ඔහුගේ තත්ත්වය පිළිබඳ දැනුම්දුන්නේද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් සති අන්තයේ නිව් ජර්සි බලා යමින් සිටියදී අවසන් මොහොතේ සිය තීරණය වෙනස් කරමින්, සිය සහෝදරයා බැලීමට සිකුරාදා නිව්යෝක් වෙත ගොස් තිබුණි. රොබට් ට්‍රම්ප් මෑන්හැටන් හි නිව් යෝර්ක්-ප්‍රෙස්බිටේරියන් රෝහලට ඇතුළත් කර සිටියේය.

රොබට් ට්‍රම්ප්, ට්‍රම්ප් ව්‍යාපාර ජාලයේ විධායක උප සභාපති ලෙස සේවය කර ඇත. අත්ලාන්තික් සිටි කැසිනෝ අධීක්ෂණය කිරීම ඇතුළු වගකිම් ඔහුගේ රාජකාරිවලින් කොටසක් වී තිබේ. රොබට් ට්‍රම්ප් 1948 දී උපත ලබා ඇති අතර, නැසීගිය ෆ්‍රෙඩ් ට්‍රම්ප්, කනිෂ්ඨ ඇතුළු ජනාධිපතිවරයාගේ සහෝදර සහෝදරියන් සිව් දෙනාගෙන් කෙනෙකි. ඔහු මේ වසර මුලදී ඈන් මාරි පල්ලන් සමග විවාහ වූ අතර, මීට පෙර බ්ලේන් (බියර්ඩ්) ට්‍රම්ප් සමග විවාහ වී සිටියේය. ඔහුගේ මරණයට පෙර රොබට් ට්‍රම්ප් නිව්යෝක් හි මිල්බෘක් හි හඩ්සන් නිම්නයේ පදිංචිව සිටියේය.



Recommended Articles