ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ (30) දිනයට සාපේක්ෂව අද (31) පෙරවරුවේදී යම් කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා පැවැති ඩොලර් 22.76 සිට අද පෙරවරුව වන විට ඩොලර් 23.37 දක්වා 2.7% ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
එසේම එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල සඳුදා දිනයේදී පැවැති ඩොලර් 20.09 සිට අද දිනය වන විට ඩොලර් 21.13ක් දක්වා 5.2% කින් ඉහළ නැගීමකට පත්ව තිබේ. මෙලෙස පසුගිය සඳුදා පැවැති WTI බොරතෙල් බැරලයක මිල මිල 2002 වසරේ සිට එය පත්වූ අඩුම අගය ලෙසද සැලකෙයි.
විශේෂයෙන්ම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සඳහා පසුගිය සඳුදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අතර පැවැති දුරකතන සංවාදය හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සාකච්ඡාවේදී දෙදෙනාම සිය බලශක්ති නිලධාරීන් හා සාකච්ඡා කර ලෝක බොරතෙල් වෙළෙඳ පොළ වඩාත් ස්ථායිව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට එකඟතාව පළ කළ බව ක්‍රෙම්ලීනයද මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
ලොව පුරා ව්‍යාප්තව ඇති කෝවිඩි -19 වසංගතය නිසා ලොව බොරතෙල් ඉල්ලුම පහත වැටීමත්, ඉන් අනතුරුව රුසියාවත් - සෞදි අරාබියත් අතර පැවැති බොරතෙල් මිල පිළිබඳ යුද්ධයත් නිසා මෙලෙස බොරතෙල් මිල දරුණු කඩා වැටීමකට ලක්විය. එය ඩොලර් 10ක මට්ටමට ලගා වෙනු ඇතැයිද ඇතැම් ඉන්ධන සමාගම් දැනටමත් අදහස් කරගෙන සිටියි.