ට්‍රම්ප් - පූටින් නායක හමුව අද ෆින්ලන්තයේදී


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අතර මුහුණට මුහුණ සාකච්ඡා වටය අද (16දා) ෆින්ලන්තයේ, හෙල්සින්කි නුවරදී ආරම්භ වෙයි.

ලෝක දේශපාලනය, ආරක්ෂාව, ආර්ථිකය මෙන්ම මෑත කාලීනව දෙරට අතර ඇතිවී තිබෙන මත ගැටුම් මෙම සාකච්ඡා මේසයට පැමිණෙනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

මෙම හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනපතිවරයා, ජනපති ආර්යාව වූ මෙලානියා ට්‍රම්ප් සමග මේ වනවිටත් ෆින්ලන්තයට පැමිණ සිටියි.

කෙසේ වෙතත්, මෙම හමුවට පෙර මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් පවසා සිටියේ සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට විශාල බලාපොරොත්තුවක් නොමැති බවයි. ඇතැම් විට එය හොඳ සාකච්ඡාවක් විය හැකි බවද ට්‍රම්ප් පවසා තිබේ.

බලවත් රාජ්‍ය නායක හමුව වෙනුවෙන් ෆින්ලන්තයේ, හෙල්සින්ක් නුවර ආරක්ෂාව තර කර ඇති අතර, එරට ආරක්ෂක අංශවලට අමතරව, ඇමෙරිකානු හා රුසියානු විශේෂ ආරක්ෂකයන්ද ඔවුන්ට ආරක්ෂාව සැපයීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, මෙම හමුවට එරෙහිව විරෝධතා ව්‍යාපාර කිහිපයක් පැවැත්වීමටද සූදානම් බව විදෙස් වාර්තා පවසයි.

ෆින්ලන්තයේ නිවාඩු ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් පවා අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට ගෙන ඒමට සූදානම් වන්නේ මේ නිසාය.

ෆින්ලන්තයේ පැවැත්වෙන මෙම හමුවට පැමිණීමට පෙර ට්‍රම්ප් සහ ආර්යාව එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේද සංචාරයක නිරත වූ අතර, එය අතිශය විවාදාත්මක සංචාරයක් බවට මේ වනවිටත් පත්ව තිබේ.



Recommended Articles