ජේම්ස් උද්ඝෝෂණ ලන්ඩන් කලඹයි -හිටපු වහල් වෙළෙඳ ප්‍රතිමාවක් ගලවා ගඟට දමයි


එක්සත් ජනපදයේදී පොලිස් අත්අඩංගුවේදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවයෙන් පසුව ඇතිවී තිබෙන වර්ගවාදී උද්ඝෝෂණ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරටත් පැමිණ ඇති අතර, එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් උද්ඝෝෂණයක් පැවැත්විණි.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ෆ්ලොයිඩ්ගේ මරණය පිළිබඳ වීඩියෝ පටය මේ වනවිට යුරෝපා රටවල් රැසක කෝපය අවුලුවා ඇති අතර, වාර්ගික සාධාරණත්වය ඉල්ලා මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

එහිදී යටත් විජිත සමයේ වහල් වෙළෙඳාමේ යෙදුණු වෙළෙන්ඳෙකුගේ ප්‍රතිමාවක් කඩා ඉවත් කළ විරෝධතාකරුවන් එය තේම්ස් නදියට වීසි කළේය.

එමෙන්ම උද්ඝෝෂණ අතරතුර අශ්වාරෝහක පොලීසියේ අශ්වයන් විරෝධතාකරුවන් විසින් කුලප්පු කරවීම නිසා එක් පොලිස් නිලධාරියෙකු අසු පිටින් වැටී තුවාල ලැබූ අතර, එසේ අයාලේ දිවගිය අශ්වයෙකු නිසා තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබුණි.

ලන්ඩනයට අමතරව, රෝමය, මැඩ්රිඩ්, වෝර්සෝ, සිඩ්නි, හොංකොං සහ තවත් බොහෝ නගරවල විරෝධතාකරුවන් 'බ්ලැක් ලයිව්ස් මැටර්' විරෝධතාවට එක්ව සිටියහ.

කෙසේ වෙතත් මෙම විරෝධතා කොරෝනා තර්ජනය තවදුරටත් වැඩිකරන්නක් බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.



Recommended Articles