ජිහාඩ් කියන්නෙ අපි කරන දේටයි අපි මුජහිඩීන්ල - ඛාලීඩ් අලී කියයි


බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් හි ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම සහ තලේබාන් සංවිධානය වෙනුවෙන් බෝම්බ නිපදවීම යන චෝදනා යටතේ ඛාලීඩ් අලී වරදකරු බවට පත්ව තිබේ.

2017 අප්‍රේල් 17 වැනිදා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු වීදියේදී පිහි තුනක් අතැතිව ගමන් කරමින් සිටියදී 28 හැවිරිදි ඛාලීඩ් අත්අඩංගුවට පත්විය.

උතුරු එඩ්මන්ටන් නුවර පදිංචිකරුවෙකු වූ ඔහු, දේශපාලඥයන් සහ පොලීසිය ඉලක්ක කරමින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට පත්වූ බව අභිචෝදකයන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය පාලකයන්ට පණිවුඩයක් ලබාදීම තම අභිමතය වූ බවත්, පිහි රැගෙන ගියේ තම ආත්මාරක්ෂාවට බවත් ඔහු පසුව පොලීසියට පවසා තිබුණි.

ඔහුට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාවලියේදී බ්‍රිතාන්‍ය තුළ ත්‍රස්තවාදය වැපිරීමේ චෝදනා යටතේ ඔහු වරදකරු කිරීමට ජූරිය කටයුතු කළ අතර, ඔහුට දඬුවම් පැනවීම ලබන ජූලි 20 වැනිදාට කල් දැමුණි.

වසර කිහිපයක් ඇෆ්ගනිස්තානයේ ජීවත්ව සිට යළි බ්‍රිතාන්‍යයට පැමිණ තිබූ මොහුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබුණේ "ඔබ ඇෆ්ගනිස්තානයට ගියේ බ්‍රිතාන්‍ය කරා ජිහාඩ් රැගෙන එන්නද?" යනුවෙනි.

එහිදී, ඔහුගේ පිළිතුර වී තිබුණේ "අපි සිදුකරමින් ඉන්නේ ජිහාඩ් තමයි, අපි මුජහිඩීන්වරු" යනුවෙනි.

පොලීසිය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී තමන් ඇෆ්ගනිස්තානයේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව යුද වැදුණු බව පවසා තිබුණි. නමුත්, තමන් අතින් ඔවුන් මියනොගිය බවද ඔහු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

කෙසේ වෙතත්, එම කාලය තුළ කුඩා බෝම්බ 300කට වැඩි ප්‍රමාණයක් තමන් පුපුරුවා හැරි බවද ඔහු පාපොච්චාරණය කළ බව පොලීසිය පවසයි.

ඒ අනුව, ඉස්ලාම් අන්තවාදය හරහා බ්‍රිතාන්‍ය තුළ බිහිවන හුදකලා වෘක්කයන් ගැන පෙරට වඩා වැඩි අවධානයක් යොමුකරන ලෙසද මෙම අධිකරණ ක්‍රියාවලියේදී අභිචෝදකයන් ඉස්මතු කර තිබුණි.



Recommended Articles