ජර්මානු - බෙල්ජියම් ගංවතුර නිසා මරණ 170 දක්වා ඉහළට


බටහිර ජර්මනියේ හා බෙල්ජියමේ විනාශකාරී ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව අද (17දා) වනවිට අවම වශයෙන් 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අඩ සියවසකට වැඩි කාලයක් තුළ ජර්මනියේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතෙන් 143ක් පමණ මිය ගියහ. කොලොන් නුවරට දකුණින් පිහිටි අහර්වෙලර් දිස්ත්‍රික්කයේ මරණ 98ක් පමණ ඊට ඇතුළත් බව පොලීසිය පවසයි.

සමහර ස්ථානවල සන්නිවේදනය තවමත් බිඳවැටී ඇති අතර ඉහළ ජල මට්ටම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ප්‍රවේශ විය නොහැකි බැවින් සිය ගණනක් තවමත් අතුරුදන් වී හෝ ළඟාවිය නොහැකි තත්ත්වයක පසුවෙයි.

"සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්" අහ්වෙයිලර් හි බැඩ් නියුනාහර්-අහර්වෙලර් නගරයේ වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් උතුරු රයින්-වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ අර්ෆ්ට්ස්ටැඩ් වෙත ගිය අතර එහිදී ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොලෝන් නුවර අසල වසන්බර්ග් නගරයේ වේල්ලක් කැඩී යාමෙන් සිකුරාදා දින පදිංචිකරුවන් 700ක් පමණ ඉවත් කර ඇති බව බලධාරීහු පවසති.

නමුත් වසන්බර්ග් නගරාධිපති මාසෙල් මොරර් පැවසුවේ රාත්‍රියේ සිට ජල මට්ටම ස්ථාවර මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, බටහිර ජර්මනියේ ස්ටේන්බැක්ටාල් වේල්ල කැඩී යාමේ අවදානමට ලක්ව ඇති බව බලධාරීහු පවසති. ඒ අනුව 4,500ක් පමණ දෙනා නිවාසවලින් ඉවත් කර ඇත.

ප්‍රතිසංස්කරණ අරමුදල් සඳහා යුරෝ බිලියන කිහිපයක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කරයි. කෙසේ වෙතත් සම්පූර්ණ හානිය තක්සේරු කිරීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ස්ටයින්මියර් පැවසීය.



Recommended Articles