ජර්මනියේ ගංවතුරෙන් සිදුවූ මරණ 58ක් දක්වා ඉහළ යයි


දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

රයින්ලන්ඩ්-පලටිනේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රොජර් ලෙවෙන්ට්ස් අද (15දා) සවස ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

පුද්ගලයන් 40ත් 60ත් අතර සංඛ්‍යාවක් තවමත් අතුරුදහන් වී ඇති අතර, තවත් බොහෝ දෙනෙකු මෙම ගංවතුරට ගොදුරු විය හැකි බවටද ලෙවෙන්ට්ස් අනතුරු ඇඟවීය.

විපතට පත්වූවන්ට ශෝකය ප්‍රකාශ කිරීමටද රජය කටයුතු කළ අතර, එහිදී සියලු මහජන කොඩි ප්‍රාන්තය පුරා අඩකුඹු කරනු ඇත.

තවත් බලපෑමට ලක්වූ ජර්මනියේ උතුරු රයින්-වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නිලධාරියෙක් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ දරුණු ස්වාභාවික විපත හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගිය බවයි.

ප්‍රදේශයේ වේල්ලක් කඩා වැටීමට ඉඩ ඇති බවත්, එකිනෙකාට උදව් කරන ලෙසත් නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

මෙම ව්‍යසනයෙන් පසු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් රජයේ ප්‍රකාශිකාවක් මාර්ගයෙන් කියා සිටියේ "ගංවතුර ප්‍රදේශවල බොහෝ පිරිසකට මුහුණදීමට සිදුවූ මේ ව්‍යසනය ගැන තමා කම්පාවට පත්වූ" බවයි.



Recommended Articles