ජපානයට බලපෑ ප්‍රබල වර්ෂාවෙන් 126ක් මරුට - තව පිරිස් අතුරුදන්


ජපානයට බලපෑ දැඩි වර්ෂාවෙන් සහ නායයෑම්වලින් මේ දක්වා මියගිය පිරිස 126ක් පමණ වන බව ජපාන රජය පවසයි.

දශක තුනක ජපාන ඉතිහාසයේ වර්ෂාව හේතුවෙන් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවද සඳහන් වෙයි.

මුදාගැනීමේ කණ්ඩායම් පස් සහ ගල්පරවලට යටවූවන් සෙවීමේ මෙහෙයුම් තවමත් සිදුකරමින් සිටින අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගංගා පිටාර මට්ටම්වලට පැමිණීමත් සමග මිලියන දෙකක පමණ ජනතාවක් ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

ජපාන අගමැති ෂින්සෝ අබේ මේ වනවිට සියලු විදෙස් සංචාර අවලංගු කරමින් ගංවතුරන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණයට සහාය දක්වන බව ජපාන රජය පවසයි.

ගංවතුරින් වැඩිම හානි වූ හිරෝෂිමා වෙතත්, ඔකයාමා දිස්ත්‍රික්කය වෙතත් තවදුරටත් ගංවතුර අවදානම පහව ගොස් නොමැති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළදී දේශගුණික තත්ත්වය යහපත් වනු ඇති බව විශ්වාස කෙරෙන බැවින් එය මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සුබදායී වනු ඇති බවද ජපානයෙන් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles