ජපාන රොකට්ටුවක් ගුවන්ගතව තත්ත්පර 6න් යළි කඩා වැටෙයි


ජපානය විසින් අභ්‍යවකාශගත කිරීමට උත්සාහ කළ රොකට්ටුවක් ගුවන්ගතව තත්ත්පර කිහිපයකින් යළි පොළවට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

MOMO-2 යනුවෙන් හැඳින්වෙන මෙම රොකට්ටුව ජපානයේ නවමු සමාගමක් වන ඉන්ටර්ස්ටෙලාර් ටෙක්නොලජීස් සමාගමේ නිෂ්පාදනයක් බව කියයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ගුවන් ගතව තත්ත්පර 6කින් යළි රොකට්ටුව පොළවට කඩා වැටී මහා ගිනි ජාලාවක් සමග දැල්වී ගිය බවයි.

ජපානයේ හොක්කයිඩෝ හි ටයිකී නගරයේදී පසුගිය සෙනසුරාදා මෙම රොකට්ටුව ගුවන් ගත කිරීමට බලධාරීන් උත්සාහ කළ අතර, අභ්‍යවකාශයේ කිලෝමීටර් 100ක් ඉහළින් එය රඳවා තැබීම අභිප්‍රාය විය.

කෙසේ වෙතත්, රොකට්ටුව කඩා වැටීමත් සමග සිදුවූ පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණුත්, මෙම සිද්ධිය සියැසින් දැකබලා ගැනීමට පැමිණ සිටි ජපාන වැසියන්ට එය ඇස් අදහාගත නොහැකි සිදුවීමක් විය.

මෙහි නිෂ්පාදක සමාගම පවසන්නේ රොකට්ටුවේ එන්ජිමේ වූ දෝෂයක් මෙම කඩා වැටීමට හේතු වී ඇති බවයි.



Recommended Articles