ජපානයට ආසන්න පැසිෆික් සාගරයේදී පසුගිය අප්‍රේල් මාසයේදී අනතුරට පත් F-35A ස්ටීල්ත් ප්‍රහාරක යානයේ නියමුවා කරකැවිල්ල වැනි සංකූලතාවකට පත්ව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිව තිබේ.
අප්‍රේල් 09දා පැවති ගුවන් හමුදා අභ්‍යාසයක් අතරතුර මෙම යානය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ අතර, යානයේ සුන්බුන් කිහිපයක් සහ 41 හැවිරිදි ගුවන් නියමුවාගේ ශරීර කොටස්ද පසුව සොයා ගැනුණි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් පසුව F-35A ස්ටීල්ත් ප්‍රහාරක යානා ගුවන් අභ්‍යාස සඳහා යොදාගැනීම තාවකාලිකව නවතා දැමුණි.
ජපාන ගුවන් හමුදාව පවසන ආකාරයට F-35A ස්ටීල්ත් ප්‍රහාරක යානයක් මෙවැනි අනතුරකට භාජනය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම යානය වසර දෙකකට වඩා පැරණි එකක් නොවන අතර, ගුවන්ගත වී විනාඩි 28කින් යානය කඩා වැටී තිබුණි.
අනතුරට පත්වන විට යානය පැයට කිලෝමීටර් 1,100ක පමණ වේගයකින් ගමන් කරමින් සිට ඇති අතර, ගුවන් නියමුවා යානයෙන් ඉවත්වීමටද උත්සාහයක් දරා නොමැති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, මෙය F-35A ස්ටීල්ත් ප්‍රහාරක යානාවල පැය 60ක පමණ ගුවන් කාලයක් ලබා තිබූ ගුවන් නියමුවා යම් කරැකැවිල්ලක් වැනි සංකූලතාවක් පෙන්වා ඇති බවත්, තමාට කුමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ අවබෝධයක් නොමැතිව මෙම අනතුර සිදුවන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.