චීනයේ සිටින ඔස්ට්‍රේලියානු වැසියන් ක්‍රිස්මස් දූපත් වෙත යැවීම ආරම්භවේ


චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැතිර යන නව කොරෝනා වෛරසය නිසා සිරවී සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් දුර බැහැර පිහිටි ක්‍රිස්මස් දූපත වෙත ගෙනයෑම ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙණ අනවසර සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස මෙම ක්‍රිස්මස් දූපත සැලකිණි.

ඒ අනුව වුහාන්වලින් ඉවත් කෙරෙන ඔස්ට්‍රේලියානුවන් මෙම ක්‍රිස්මස් දූපත තුළ සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට නතු වීමට නියමිත බව බලධාරීන් පවසයි.

මෙම ඔස්ට්‍රේලියානුවන් අතරට වැඩිහිටි පුද්ගලයන් 243ක් සහ ළමයින් 89 දෙනෙකු ඇතුළු ස්ථිර පදිංචිකරුවන්ද එහි සිටි බවයි. ඔවුන් රැගෙන ඒමේ දෙවැනි ගුවන් ගමනක්ද මේ සතියේ පැවැත්වීමට නියමිතය.

මෙම ගුවන් ගමන සඳහා ඔස්ට්‍රේලියාවට අයත් ක්වන්ටස් ගුවන් සේවය විශේෂ ගුවන් ගමනක යෙදෙන අතර, මෙසේ ක්‍රිස්මස් දූපත වෙත පැමිණීමට සූදානමින් සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ ඡායාරූපද සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.

මෙම විශේෂ ගුවන් ගමනේදී යානයේ සිටින සියල්ලන්ම ආරක්ෂිත මුහුණු ආවරණ සහ වෙනත් ආරක්ෂිත ඇඳුම් අඳිනු ඇති අතර කාර්ය මණ්ඩලය සහ මගීන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය අවම වනු ඇතැයි ප්‍රධාන විධායක ඇලන් ජොයිස් පැවසීය.

මීට පෙර එක්සත් ජනපදය, ජපානය සහ ශ්‍රී ලංකාව සිය විශේෂ ගුවන් යානා යොදවමින් එම පළාතේ රැඳී සිටින සිය රටවලට අයත් පුරවැසියන් රැගෙන ඒමට කටයුතු කළේය.



Recommended Articles