චීනයේ වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 135 දී මිය යයි


චීනයේ වයස්ගතම පුද්ගලයා වන අලිමිහාන් සෙයිටි බ්‍රහස්පතින්දා වයස අවුරුදු 135 දී ෂින්ජියෑන්ග් පළාතේ, උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ බව ප්‍රාදේශීය බලධාරීන් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

ප්‍රාන්තයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවට අනුව, කැෂ්ගර් ප්‍රාන්තයේ ෂොල් හි කොමුසෙරික් නගරයේදී අලිමිහාන් සෙයිටි උපත ලබා තිබුණේ වර්ෂ 1886 ජුනි 25 වැනිදාය.

කලින් චීනයේ ජෙරොන්ටොලොජිකල් සංගමය ලෙස හැඳින් වූ, වයෝවෘද්ධ විද්‍යාව පිළිබඳ චීන සංගමය විසින් 2013 දී නිකුත් කරන ලද චීනයේ ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ උයිගුර් කාන්තාව ප්‍රමුඛස්ථානයට පත්විය.

"ඇය මගේ නිවසේ සාමකාමීව මිය ගියා" අලිමිහාන් සෙයිටිගේ මුණුපුරා වන කුර්බාන් නූර් පැවසුවේ ඇය ජීවත්ව සිටියදී ඇයව හොඳින් රැකබලා ගත් බවයි.

අලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගත කර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇති අතර, ඇය සිය මිදුලේ අව්වේ රැඳීමටත්, අසල්වැසියන් සමඟ කතාබස් කිරීමට ප්‍රිය කළ බවද සඳහන් වෙයි. සමහර විට ඇය තම මී මුණුබුරන් බලා ගැනීමටද උදව් කර තිබේ.

කොමුසෙරික් නගරය පසුගිය වසරේ දත්තවලට අනුව වයස අවුරුදු 90ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 40කට අධික සංඛ්‍යාවක් සිටින "දීර්ඝායුෂ නගරයක්" ලෙස හැඳින්වේ.

සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ දිගුකාලීන පැවැත්මට අර්ධ වශයෙන් දායක වී ඇත. පළාත් පාලන ආයතනය විසින් ගිවිසුම්ගත වෛද්‍ය සේවාවක්, නොමිලේ වාර්ෂික ශාරීරික පරීක්‍ෂණ සහ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා මාසික සහනාධාර ලබාදීමද සිදුකෙරෙන බව කියයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ෂින්ජියෑන්ග් හි පදිංචිකරුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව 1949 දී වසර 30 සිට 2019 වසර 74.7ක් දක්වා වර්ධනය විය.



Recommended Articles