චීනයේ තවත් විස්මිත නිමවුවක් වූ මුහුද මතින් යන දිගම පාලම


මුහුද මතින් දිවෙන ලොව දිගම පාලම මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම පසුගිය 24දා චීනයේදී සිදුවූ බව විදෙස් වාර්තාවල දැක්විණි.

චීනයේ සුහායි නගරයේ සිට හොංකොං සහ මැකාව් දක්වා කිලෝමීටර් 55ක් දුර දිවෙන මෙම පාලම ඉදිකිරීම සඳහා ඇ.ඩො.බිලියන 20ක දැවැන්ත මුදලක් චීනය වැය කර ඇත.

කෙසේ වෙතත්, පාලම ජනතාවට විවෘත කළ අවස්ථාවේ සිට එහි භාවිතය සඳහා විශාල වාහන ප්‍රමාණයක් නොපැමිණියත්, ඉදිරියේදී මෙය භාවිත කරන පිරිස් වැඩිවනු ඇති බව චීන බලධාරීහු පැවසූහ.

මෙහි ධාවනය කෙරෙන බස් සේවාව හරහා හොංකොං සහ මැකාව් දක්වා ගමන් කළ හැකි අතර, මෙහි මුල්ම ගමනට එක්වූවන් ඔවුන්ගේ ඒ පළමු සංචාරය වීඩියෝගත කිරීමට පෙළඹෙන ආකාරය දැකිය හැකිවිය.

කෙසේ වෙතත්, මෙම පාලම මතින් රථවාහන ධාවනය කළ හැකි වන්නේ, ඒ සඳහා විශේෂ අවසර පත් ලබාගත් වාහන හිමියන්ට පමණි. එනම්, ඔවුන් යම් ගාස්තු ගෙවීමක් කර එම මාර්ගය භාවිත කළ යුතුය.

එමෙන්ම, චීනයේ සුහායි වෙත ගමන් කිරීම සඳහා අවසර පත් නිකුත් කෙරෙනුයේ, හොංකොං වැසියන් 10,000කට පමණක් වන අතර, එම අවසර පත් වසර 5ක් සඳහා වලංගු වේ.

මෙම පාලමේ විශේෂත්වය වන්නේ එය භූ කම්පන සහ සුළි සුළංවලට ඔරොත්තු දිය හැකි පරිදි ඉදිකර තිබීමය. මෙම පාලමට යොදාගෙන ඇති යකඩ ප්‍රමාණය ටොන් 400,000කි. එම යකඩ ප්‍රමාණයෙන් අයිෆල් කුළුණ වැනි කුළුණු 60ක් නිර්මාණය කළ හැකි බවට ගණන් බලා තිබේ.

මීට පෙර සුහායි සිට හොංකොං දක්වා ගමන් කිරීමට පැය 4ක කලයක් ගතවූ අතර මෙම මුහුදු පාලම නිසා එම කාලය මිනිත්තු 30කට අඩු වී තිබීමද විශේෂත්වයකි.

මේ අතර, පරිසරවේදීන්ද මෙම ව්‍යාපෘතිය දැඩි විවේචනයට ලක්කළ අතර, මුහුදු ජීවීන්ගේ පැවැත්මට මෙය ඉතා හානිකර බවත්, විශේෂයෙන් දුර්ලභ මතස්‍ය විශේෂයක් වන චීන සුදු ඩොල්ෆින් මතස්‍යයින් මෙම ව්‍යාපෘතිය හරහා මරණයට පත්වූ බවට චෝදනා එල්ල වූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles