චීනයේ අධිවේගී මාර්ග ජනගහනයෙන් 95%ක් පමණ සම්බන්ධ කරමින් අන්තර් ප්‍රදේශ ප්‍රවාහන පිරිසැලසුම වැඩිදියුණු කිරීමට සහ ගමනාගමන ධාරිතාව වැඩි කිරීමට ජාතික මාර්ග ජාලයක් ගොඩනැගීමේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.
වර්තමානයේ අධිවේගී මාර්ග ජාලය 200,000කට වැඩි නාගරික ජනගහනයක් සහිත නගරවලින් 98.8%ක් සහ ප්‍රාන්ත මට්ටමේ පරිපාලන මධ්‍යස්ථාන ආවරණය කරන අතරම ප්‍රාන්ත මට්ටමේ කලාපවලින් 88%ක් පමණ සම්බන්ධ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන වැන්ග් තායි පැවසීය.
ජාතික මහාමාර්ග පද්ධතියද මූලික වශයෙන් ප්‍රාන්ත මට්ටමින් සහ ඊට ඉහළින් පරිපාලන ප්‍රදේශ ආවරණය වන අතර ප්‍රාන්ත අතර පිවිසුම් වසර පුරා විවෘතව පවතින බව වැන්ග් පැවසීය.
පසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
මේ වසර මුලදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව 2035 වනවිට කිලෝමීටර් 162,000ක අධිවේගී මාර්ග සහ කිලෝමීටර් 299,000ක මහා මාර්ගවලින් සමන්විත මුළු දිග කිලෝමීටර් 461,000 ක පමණ දිගකින් යුත් ජාතික මාර්ග ඉදිකිරීමට චීනය අපේක්ෂා කරයි.
නවීන, උසස් තත්ත්වයේ ජාතික මාර්ග ජාලයක් ඉදිකිරීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන ව්‍යාපෘති සහ නගර පොකුරු සඳහා ඒකාබද්ධ මාර්ග ජාලයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බවද වැන්ග් පැවසීය.
සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම, මාර්ග ඔස්සේ පරිසරය ආරක්ෂා කිරීම සහ බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය ඵලදායී ලෙස අඩු කිරීම මගින් චීනය හරිත මාර්ග ඉදිකිරීම වේගවත් කරනු ඇති බවද පෙන්වා දෙයි.