චීනය රුසියාවට ආයුද දෙන්න හදනවා - ඇමෙරිකාව කියයි


යුක්රේනයේ සිදුවන රුසියානු ප්‍රහාරයට සහාය දැක්වීම සඳහා මොස්කව් පාලනය විසින් චීනයෙන් යුද උපකරණ සහ වෙනත් ආකාරයේ නිශ්චිත නොවන හමුදා ආධාර ඉල්ලා ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය සිදුකරන සංදර්ශනය චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි.

රුසියාව විසින් හමුදා ආධාර සඳහා චීනයෙන් කරන ලදැයි කියන ඉල්ලීම් හුදු මනංකල්පයක් මිස එවැන්නක් කිසිදා සිදුව නොමැති බවත්, බීජිං පාලනයේ ප්‍රමුඛ අවධානය යුක්රේනයේ ඇතිවී තිබෙන ආතතීන් අඩු කිරීම බවත් එක්සත් ජනපදයේ චීන තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.

ඇමෙරිකාවේ ෆිනෑන්ෂල් ටයිම්ස් මුලින්ම මෙම පුවත වාර්තා කළ අතර, ධවල මන්දිරය චෝදනා කරන ඉල්ලීම් ලබාදීම චීනය තෝරා ගන්නේ නම්, එය යුක්රේන හමුදාවන්ට තම රට ආරක්ෂා කරගැනීමට බටහිර දරන ප්‍රයත්නය වළක්වා ලීමට චීනය කටයුතු කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය කනස්සල්ලට පත්ව ඇති බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ඉන් නොනැවතී ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස්, සීඑන්එන් සහ අනෙකුත් මාධ්‍යායතන විසින්ද මෙම යුද්ධයට චීනය ඈඳා ගැනීමට විවිධ ප්‍රයත්නයන් දරා තිබුණි. එහිදී සීඑන්එන් වාර්තා කළේ, රුසියාව චීනයෙන් ඩ්‍රෝන යානා ඉල්ලා ඇති බවයි.

මෙම ඇමෙරිකානු මාධ්‍යයේ වාර්තා ගැන රොයිටර් පුවත් සේවය විමසූ විට, එක්සත් ජනපද චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු මෙය දැඩිව ප්‍රතික්ෂේප කර තිබුණි.

එහිදී යුක්රේනය සමග රුසියාව සිදුකරන ගැටුමේ දී බීජිං පාලනය මධ්‍යස්ථව කටයුතු කරන බවත්, යුද්ධය අවසන් කිරීමට දැඩි ඉල්ලීමක සිටියත්, බටහිරත් සමග මොස්කව් හෙළා දැකීමට එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.



Recommended Articles