චීන ෂුරොන්ග් රෝවරය රතු ග්‍රහයා මත මීටර් 500ක් ගිහින්


චීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

රෝවරය දෙවැනි වැලි කණ්ඩිය වෙත ළඟාවීමට ආසන්නව ඇති අතර එහිදී සවිස්තරාත්මක සමීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කෙරෙන බවද කියයි.

ෂුරොන්ග් රෝවරය අඟහරු දින 63ක් පුරා රතු ග්‍රහලෝකයේ වැඩ කරමින් සිටී. අඟහරුගේ දිනයක් පෘථිවියේ දිනකට වඩා දළ වශයෙන් මිනිත්තු 40ක් දීර්ඝ වෙයි. රෝවරය විසින් එවන ලද නවතම පින්තූර මගින් අඟහරු පෘෂ්ඨය මෙන්ම, එහි පැරෂුට් සහ ආරක්ෂිත ආවරණය පෙන්වයි.

මේ අතර ටියැන්වෙන්-1 මෙහෙයුමේ ඕබිටර් යානය අඟහරු කක්ෂයේ දින 359ක් පුරා වැඩ කරමින් සිටී. මේ වනවිට රෝවරය සහ ඕබිටර් යානය යන දෙකම හොඳ තත්ත්වයේ පවතින අතර සෑම උප පද්ධතියක්ම සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ පවතින බවද චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ඕබිටර්, ලෑන්ඩර් සහ රෝවරය වශයෙන් චීනයේ ටියැන්වෙන්-1 මෙහෙයුම 2020 ජූලි 23 වැනි දින දියත් කරන ලදී. රෝවරය රැගත් ලෑන්ඩර් යානය අඟහරුගේ උතුරු අර්ධගෝලයේ විශාල තැනිතලාවක් වෙත ගොඩබැස්ම සිදුවූයේ මැයි 15 වැනිදාය.



Recommended Articles