චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට


චීන විදේශ අමාත්‍ය වැන්ග් යී රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රියේ නවදිල්ලියට පැමිණි අතර එහිදී ඔහු සිය ඉන්දීය සගයා වන විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් හමුවිය.

2020 දී ලඩාක් දේශසීමා ගැටුම්වලින් පසු ඉහළ පෙළේ චීන නිලධාරියෙකු ඉන්දියාවට ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.

වැන්ග් යී මීට පෙර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමග සාකච්ඡා පැවැත්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. බීජිං රාජ්‍ය තාන්ත්‍රිකයා බ්‍රහස්පතින්දා අගභාගයේ නවදිල්ලියට පැමිණෙන තෙක් චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක විසින්ම මෙම සංචාරය රහසිගතව තබා ගන්නා ලදී.

සිකුරාදා පැවති සාකච්ඡාවලදී ඉන්දියාව-චීනය අතර දේශසීමා ආතතීන් මෙන්ම යුක්රේනයේ රුසියාවේ හමුදා ප්‍රහාරය පිළිබඳව අවධානය යොමුවිය. කෙසේ වෙතත් බටහිර රටවල බලපෑම් නොතකා රුසියාව සමග වෙළෙඳ සබඳතා පවත්වා ගනිමින් රුසියාවේ ක්‍රියාවන් හෙළා දැකීමෙන් සහ සම්බාධක යෙදීමෙන් වැළකී සිටීමට මෙම රටවල් දෙකම මෙතෙක් ක්‍රියාකර ඇත.

එසේම සතුරුකම් නතර කර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයන ලෙස ජාතීන් දෙක රුසියාවෙන් ඉල්ලා සිටින අතර, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම දිගටම කරගෙන යයි. එහිදී යුරෝ-ඩොලර් වෙළඳාමෙන් වැළකී සිටීමට දෙපාර්ශ්වයට ඉඩ සලසමින් රුපියල්-රුබල් වෙළෙඳ යාන්ත්‍රණයකට මාරු වීමේ ක්‍රම පිළිබඳව දැනට සාකච්ඡා කරමින් සිටී. රුසියාව G20 වෙතින් ඉවත් කිරීමට විරෝධය දක්වමින් මොස්කව් වෙත ඒකපාර්ශ්වික සම්බාධක චීනය නැවත නැවතත් හෙළා දැක තිබේ.



Recommended Articles