චීනයේ ප්‍රධාන ගුවන් සමාගම් තුනක් යුරෝපීය බහුජාතික අභ්‍යවකාශ සමාගමක් වන එයාර්බස් වෙතින් යුවාන් බිලියන 249ක් (ඩොලර් බිලියන 37ක් පමණ) වටිනා A320neo (නව එන්ජින් විකල්පය) ගුවන් යානා 292ක ඇණවුම් එළිදක්වා ඇති බව අනාවරණය වෙයි.
ඒ අනුව, චයිනා සදර්න් එයාර්ලයින්ස්, චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් සහ එයාර් චයිනා හා එහි අනුබද්ධිත ෂෙන්ෂෙන් එයාර්ලයින්ස් විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයක මේ බව දැක්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, එයාර්බස් ජුලි 1දා චීන ගුවන් සමාගම් සමග ගුවන් යානා 300කට ආසන්න ප්‍රමාණයක මෙම දැවැන්ත ඇණවුම් අත්සන් කර ඇති බව තහවුරු කළේය.
ඔවුන්ගේ වෙනම නිවේදනවල, චයිනා සදර්න් එයාර්ලයින්ස් විසින් A320neo-family jets 96ක් මිලදී ගන්නා බව පැවසූ අතර එයාර් චයිනා සහ එහි අනුබද්ධ ෂෙන්ෂෙන් එයාර්ලයින්ස් එම වර්ගයේ ගුවන් යානා 96ක් මිලදී ගැනීම තහවුරු කළේය. එමෙන්ම, A320neo-family ගුවන් යානා 100ක් මිලදී ගන්නා බව චයිනා ඊස්ටර්න් එයාර්ල්යින්ස් ප්‍රකාශ කළේය.
මෙම ගුවන් යානා ගනුදෙනුව වෙළෙඳපොළ ඉල්ලුමට අනුකූල වන අතර, චීනයේ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ අනාගත සංවර්ධනය පිළිබඳ විශ්වාසය මත පදනම් වූ බව ප්‍රධාන චීන ගුවන් සමාගම් තුන පවසයි.
එයාර්බස් ප්‍රධාන වාණිජ නිලධාරි සහ ඉන්ටර්නැෂනල් ප්‍රධානී ක්‍රිස්ටියන් ෂෙරර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "මෙම නව ඇණවුම් අපගේ ගනුදෙනුකරුවන්ගෙන් එයාර්බස් කෙරෙහි ඇති දැඩි විශ්වාසය පෙන්නුම් කරන" බවත්, නව ඇණවුම් ධනාත්මක ප්‍රකෘතිමත් ගම්යතාවයක් සහ චීන ගුවන් වෙළඳපොළ සඳහා සමෘද්ධිමත් දැක්මක් පෙන්නුම් කරන බවත් සඳහන් කළේය.
එමෙන්ම, මෙය ඇමෙරිකානු ගුවන් යානා නිෂ්පාදකයන් වෙතින් චීනය තවදුරටත් ගුවන් යානා මිලදී ගැනීම සිදු නොකරන බවට ඉඟියක් යැයිද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.