ගෝලීය සංවර්ධනය සඳහා චීනය කැපවී සිටින බව කියයි


චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කළේ, සහයෝගීතාව තුළින් ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සැබෑ බහුපාර්ශ්විකත්වයට අනුගත වීම, විවෘත සහ සියලු දෙනා එක්වූ හවුල්කාරීත්වය තහවුරු කිරීම සහ තමන්ගේම සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සඳහා චීනය සැමවිටම කැපවී සිටින බවයි.

ගෝලීය සංවර්ධන වාර්තාව නිකුත් කරන ලද මාධ්‍ය හමුවකදී වීඩියෝ සබැඳියක් හරහා වැන්ග් මෙම ප්‍රකාශය කළේය.

තිරසාර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය සහ අභියෝග ගෝලීය සංවර්ධන වාර්තාවෙන් දක්වා ඇති බව වැන්ග් පැවසීය. එය පෙන්වා දෙන්නේ ලෝකය සංවර්ධන සහයෝගීතාවය සහ ගෝලීය හවුල්කාරිත්වය ගොඩනැගීම, ඩිජිටල් සහ හරිත පරිවර්තනයන් වැලඳ ගැනීම සහ මානව වර්ගයා සඳහා පොදු තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.

චීනය සිය ගෝලීය සංවර්ධන මුලපිරීම ක්‍රියාවට නැංවීම සඳහා මෙම වාර්තාව ප්‍රධාන පියවරක් බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. මුලපිරීම ක්‍රියාත්මක කිරීම, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සහ ගෝලීය සංවර්ධනයේ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශව සමග කටයුතු කිරීමට චීනය සූදානම් බවද ඔහු පැවසීය.



Recommended Articles