ගෝලීය කොවිඩ් මරණ මිලියන 5ක් ඉක්මවා යයි


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) දත්ත වලට අනුව ගෝලීය කොවිඩ්-19 මරණ මිලියන 5ක දරුණු සන්ධිස්ථානය සඳුදා දිනයේ ඉක්මවා ගියේය.

ආසාදන මිලියන 46ක් සහ මරණ 746,000 ට ආසන්න සංඛ්‍යාවක් ඇති එක්සත් ජනපදය වසංගතය හමුවේ දරුණුතම බලපෑමට ලක් වූ රට ලෙස පවතී. එය ගෝලීය ආසදනවලින් 18%කට වඩා සහ ගෝලීය මරණ සංඛ්‍යාවෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් වේ.

ගෝලීය කොවිඩ්-19 මරණ 2020 සැප්තැම්බර් 28 වැනි දින මිලියන 1ක් ඉක්මවා, 2021 ජනවාරි 15 ​​වැනි දින මිලියන 2ක් දක්වාත්, අප්‍රේල් 17 වැනි දින මිලියන 3 ඉක්මවා, සහ ජූලි 7 වැනි දින මිලියන 4 ඉක්මවා ගියේය.

තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳුදා එන්නත් සාධාරණත්වය සහ කොරෝනා වෛරසයට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

"අද මිනිස් පවුල වේදනාකාරී නව සීමාවක් පසුකරනවා. කොවිඩ්-19 නිසා ජීවිත මිලියන 5ක් අහිමි වුණා. මේ විනාශකාරී සන්ධිස්ථානය අපට මතක් කර දෙන්නේ අප ලෝකයේ බොහෝ දේවලින් තවමත් අසාර්ථක වන බවයි." ගුටරෙස් වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා එය "ගෝලීය වශයෙන් ලැජ්ජාවට පත්විය යුත්තක්" ලෙස හැඳින්වූයේ ධනවත් රටවල් කොවිඩ්-19 එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාදෙද්දී, අප්‍රිකාවේ පුද්ගලයින්ගෙන් 5%ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කර නොමැති වටපිටාවකය.

වසංගතය වසර දෙකකට ආසන්න කාලයක් පවතින බැවින්, මේ දක්වා එන්නත් කිරීම සහ මුඛ ආවරණ පැලඳීම වෛරසයෙන් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රම බව ඔප්පු වී ඇත.

ලෝක ජනගහනයෙන් අඩකට පමණ අවම වශයෙන් එක් එන්නතක් ලබාදී ඇති අතර ඔක්තෝබර් 30දා වනවිට ගෝලීය ජනගහනයෙන් 40%ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. රටවල් සහ කලාප 180කට වඩා බිලියන 7.04 කට වැඩි මාත්‍රාවක් ලබාදී ඇත.

බ්‍රසීලය ලොව දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති අතර එය 608,000ක් පමණ වන අතර, ඉන්දියාවේ මරණ 458,000ක් පමණ සිදුව ඇත.

දත්තවලට අනුව 130,000කට අධික මරණ සංඛ්‍යාවක් ඇති රටවල් අතරට මෙක්සිකෝව, රුසියාව, පේරු, බ්‍රිතාන්‍යය සහ ඉතාලියද ඇතුළත් වේ.



Recommended Articles