ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අනෙකුත් ආධාර කණ්ඩායම්වලට අනුව, දුප්පත් රටවල කොවිඩ්-19 පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබා ගැනීමේ ගෝලීය මුලපිරීම සඳහා මේ වසරේ එහි අරමුණු ඉටු කිරීමට බලාපොරොත්තු වූ පරිත්‍යාගවලින් ලැබී ඇත්තේ 5%ක් පමණි.
කොවිඩ්-19 මෙවලම් සඳහා ප්‍රවේශය (ACT-Accelerator hub) විසින් 2021 ඔක්තෝබර් සිට 2022 සැප්තැම්බර් දක්වා එහි ප්රයත්නයන් සඳහා ඩොලර් බිලියන 23.4ක් වැය කිරීමට සූදානම් අතර, එයින් ඩොලර් බිලියන 16.8ක් ධනවත් රටවලින් ප්‍රදානයන් ලෙස ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. කෙසේ වෙතත්, මේ වනවිට ධනවත් රටවලින් පොරොන්දු වී ඇත්තේ ඩොලර් මිලියන 814 ක් පමණක් බව මුලපිරීමේ නායකයින් අඟහරුවාදා ප්‍රකාශ කළහ.
"එය අපට අවශ්‍ය ප්‍රමාණයෙන් 5%ක් පමණයි. ලෝකයේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලය පැමිණ තිබෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය මූල්‍යකරණය පිළිබඳ ගෝලීය තානාපති, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් පැවසීය.
ACT-Accelerator hub විසින් COVAX මුලපිරීම ආවරණය කරයි. එය එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය කෙරෙහි අවධානය යොමු කර ඇත. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට පරීක්ෂණ සහ ප්‍රතිකාර සැපයීම මෙන්ම සෞඛ්‍ය සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) ලබාදීමට ඊට ඇතුළත් වේ.
මුලපිරීම සඳහා සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කරන WHO ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බෲස් අයිල්වර්ඩ් පැවසුවේ අරමුදල් නොමැතිකම හේතුවෙන් එය තවමත් ඉබි ගමනේ යන බවයි.
වසංගතය ආරම්භයේ සිටම අරමුදල් හිඟකම පෙනෙන්නට තිබේ. ව්‍යාපෘතියේ පෙර අයවැය සඳහා වූ පරතරය ඩොලර් බිලියන 14.5කි. හවුල්කරුවන් පැවසුවේ මෙතෙක් අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 එන්නත් සඳහා ගොස් ඇති බවය. ඒ අනුව අනෙකුත් ඉලක්ක ලෙස පරීක්ෂණ කට්ටකල, ප්‍රතිකාර සහ PPE සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවේ.