ඇතැම් බටහිර රටවලට ගෑස් අපනයනය සඳහා ගෙවීම් කිරීමේදී එය රුසියාවේ දේශීය මුදල වන රූබලයෙන් සිදුකළ යුතු බව පූටින් නිවේදනය කිරීමෙන් පසු බදාදා රුබලයේ අගය ඉහළ ගොස් තිබේ.
පෙර නොවූ විරූ බටහිර සම්බාධක රුසියානු ආර්ථිකයට පහර දීමත් සමග මෙම මස මුලදී රුසියාවේ මුදල් ඒකකය වන රුබලය ඓතිහාසික ලෙස අවප්‍රමාණය විය.
ඒ අනුව පසුගිය මාර්තු 7 වැනි දින ඩොලරයට රුබල් 132ක් සහ යුරෝවකට රුබල් 147ක් ලෙස වාර්තාගත අවප්‍රමාණය විය. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මැද භාගයේදී විනිමය අනුපාතය ඩොලරයකට රුබල් 75ක් සහ යුරෝ එකකට රුබල් 85ක් පමණ විය.
මේ තත්ත්වයත් සමග රුසියාව විසින් අපනයනය කරන ගෑස් සඳහා ගෙවීම් පියවීම්වලදී සියලු සම්මුති මුදල් (ඩොලර් ආදී) අත්හැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් බදාදා පැවසීය. රුසියාවේ වත්කම් අත්හිටුවීමට බටහිර රටවල් ගණනාවක් ගත් නීත්‍යානුකූල නොවන තීරණ ඔවුන්ගේ මුදල් කෙරෙහි ඇති සියලු විශ්වාසය විනාශ කළ බව ඔහු පැවසීය. එබැවින් ඉදිරියේදී රුසියාවේ ගෑස් මිලදී ගන්නා "අහිතවත් රටවලට" රුසියානු ගෑස් සඳහා රුබල්වලින් ගෙවීමට සිදුවනු ඇති බව පූටින් සඳහන් කළේය.
මෙම තීරණයත් සමග ඩොලරයට සාපේක්ෂව රූබල් 95ක් දක්වා රූබලය අතිප්‍රමාණය වූ අතර, එය යුරෝවකට සාපේක්ෂව රුබල් 110.5ක් දක්වාද අතිප්‍රමාණය වී තිබේ.