ගාසා තීරයට ඊශ්‍රායලයෙන් නව ගුවන් ප්‍රහාර මාලාවක්


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගසාන් බලධාරීන්ට අනුව අවම වශයෙන් එක් දරුවෙකුද මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත. සිකුරාදා, ගාසා නගරයේ පිපිරීමක් ඇසුණු අතර උස ගොඩනැගිල්ලක හත්වැනි මහලෙන් දුමාරයක් නැඟී ඇත.

පැය කිහිපයකට පසු තවත් නිවසක් ගුවන් ප්‍රහාරයකින් විනාශ වූ අතර, ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් විසින් හිමිකරුට අනතුරු ඇඟවීමේ ඇමතුමක් ලබාදී තිබූ නිසා කිසිවෙකුට හානියක් සිදු නොවීය.

පලස්තීන සටන්කාමීන් විසින් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රොකට් ප්‍රහාර 150කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, ටෙල් අවිව් සහ බෙන් ගුරියන් ගුවන් තොටුපළ ඇතුළු නගර රොකට් ප්‍රහාරයන්ගේ ඉලක්කය වී තිබේ.

කෙසේ වෙතත් ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල බිම හෙළන අයුරු දක්නට ලැබුණි. ඊශ්‍රායල බලධාරීහු පැවසුවේ ඔවුන්ගේ 'අයන් ඩෝම්' ආරක්ෂක පද්ධතිය මගින් රොකට් බොහොමයක් වැළෑක්වූ බවයි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය ජිහාඩ් අණදෙන නිලධාරියෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 84දෙනෙකු තුවාල ලබා ඇත.



Recommended Articles