ග්‍රීසියට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හමුවේ ජීවිතය බේරාගැනීම සඳහා බෝට්ටුවක නැගී මුහුදට ගිය සංචාරකයන් පිරිසක් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ සමග මෑත ඉතිහාසයේ ග්‍රීසියට බලපෑ ඉතා දරුණුතම ලැව්ගිනි තත්ත්වය නිසා මියගිය පිරිස 80කට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.
ග්‍රීසියේ ඇතන්ස් නගරයට සැතපුම් 25ක් පමණ ඔබ්බෙන් සංචාරක කලාපයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් බොහෝ පිරිසක් ගින්නට හසුවී ඇති අතර, ලැව්ගිනි සමග බෝට්ටුවක නැගී පළා යෑමට ගිය සංචාරක පිරිස රළු මුහුදේ බෝට්ටුව පෙරළී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙහි ගමන්ගත් පෝලන්ත ජාතික මවක සහ කුඩා දරුවෙකුද මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙම සංචාරක කලාපයේ නවාතැන් ගෙන සිටි තවත් සංචාරකයන් රැසක් පණ පිටින්ම දැවී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
එහිදී ඇතැම් අය තම හෝටල්වල සිටියදීත්, තවත් අය මෝටර් රථවල නැගී පළා යාමට උත්සාහ කිරීමේදීත් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත.
මෙහි සංචාරක හෝටලයක තිබී එකට බදාගෙන දැවී අලුවී ගිය මිනිස් සිරුරු 26ක් හමුවී ඇති අතර, ඔවුන් තම ජීවිතය බේරාගැනීමට ගත් අවසන් උත්සාහය එය විය යුතු බව විශ්වාස කළ හැකි යැයි බලධාරීහු පවසති.
මේ අතර, මෙම ලැව්ගිනි තත්ත්වය හිතාමතා ඇති කළ තත්ත්වයක් දැයි සොයාබැලීමට ඇමෙරිකානු ඩ්‍රෝන යානා යොදා ගනිමින් විශේෂ නිරීක්ෂණයක්ද සිදුකර ඇති අතර, ගින්න නිවා දැමීමට ග්‍රීක බලධාරීන් ජාත්‍යන්තරයේද සහාය පැතීය.
කෙසේ වෙතත්, සෙල්සියස් අංශක 40ක පමණ උෂ්ණත්වයක සහ පැයට සැතපුම් 65ක පමණ සුළං තත්ත්වය සමග මෙම ගින්න වේගයෙන් පැතිර යන බව පවසන බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙය එදාමෙදා තුර ඇති මුහුණ දුන් මහා ව්‍යසනයක් බවයි.
එහිදී, මෙම ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති ළාබාලම තැනැත්තා වයස මාස 6ක බිළිඳෙකි. ගිනි ගැනීම් නිසා ඇති වූ දුමාරය ආග්‍රාණය කිරීමෙන් එම බිළිඳා මරු වැළඳ ගෙන ඇත.