ග්‍රීසියට බලපෑ ප්‍රබල ලැව්ගිනි නිසා 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට


ග්‍රීසියට බලපා ඇති ප්‍රබල ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් මේ වනවිටත් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ග්‍රීක රජය විසින් බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම ලැව්ගිනි තත්ත්වයත් සමග බෝට්ටුවක නැගී පළාගිය සංචාරකයන් 10 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති නිසා ඔවුන් සෙවීමේ මෙහෙයුම්ද අරඹා ඇත.

අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රාස් පවසා සිටියේ මෙය පාලනය කිරීම සඳහා ඔවුන්ට දැරිය හැකි සියලු උත්සාහයන් දරණ බවයි.

මේ සමගම බොස්නියාවේ සිදුකිරීමට නියමිතව තිබූ අගමැතිවරයාගේ නිල සංචාරයක අවලංගු කර ඇති අතර, නිවාදැමීමට වඩාත් අපහසු ලෙස පැතිර යන ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔහු නැවතී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මියගිය පිරිසෙන් වැඩිදෙනා ඊසානදිග ඇතන්ස් ප්‍රදේශයේ මුහුදුබඩ සංචාරක පුරවරයේ සිටි අය බව කියැවෙයි. ඔවුන් සිය නිවාස තුළ හෝ මෝටර් රථ තුළ සිටියදී ගින්නට හසුව ඇත.

මේ වනවිට 100කට වැඩි පිරිසක් ගින්නෙන් තුවාල ලබා ඇති අතර, ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්, තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 16 දෙනෙකු සිටින බවත් ග්‍රීක සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් පවසති.



Recommended Articles